(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගබ්සා නීතියේ අඩුපාඩු සකස් කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා පහසු සහ හිතකාරී වන අයුරින් එම නීතිය සංශෝධනය කර ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.
අඩුපාඩු සහිත සහ නොවිධිමත් ගබ්සා නීතිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සහ කාන්තාවන් කාලයක් මුළුල්ලේ විශාල වශයෙන් ප්‍රශ්නවලට,අසීරුතාවයන්ට වගේම අසාධාරණයන්ට ලක් වෙමින් සිටින අතර මේ කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙන්නේ ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මැදිහත් වීම මතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අතර මේ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී නීති උපදෙස් මත සකස් කෙරුණු විශේෂ යෝජනාවලියක් මෙහිදී සැලකිල්ලට ගැනිණි.
නීතීඥයින් ද සමග එක්ව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ප්‍රසව සහ නාරිවේද සංගමය මගින් සකස් කෙරුණු එම යෝජනාවලියේ,රෝග නිධාන ගණනාවක් හේතුවෙන් ජීවත් කළ නොහැකි සහ අසාමාන්‍යතා ඇති කළලයන් ඉවත් කිරීමේ වැදගත්කම පිළිබඳව කරුණු රැසක් ඇතුළත් වේ.
ඒ සම්බන්ධයෙන් මහාචාර්ය විල්ෆ්රඩ් පෙරේරා,මහාචාර්ය හේමන්ත දොඩම්පහල සහ විශේඥ වෛද්‍ය ප්‍රමිලා සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කළ අතර ශ්‍රී ලංකාවේ ගබ්සා නීතිය වෛද්‍ය ප්‍රතිකාරවලට,කාන්තාවට වගේම ජන සමාජයට හිතකර අයුරින් සකස් කර සංශෝධනය කළ යුතු ආකාරයට අදාළව විශේෂ යෝජනාවලියක් ද ඉදිරිපත් කළහ.
යම් කළලයක් හේතුවෙන් මවගේ ජීවිතයට අවදානමක් තිබේ නම් සහ එම කළලය අසාමාන්‍ය බව කල් ඇතිව හඳුනා ගෙන ඒ බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කළ හැකි නම් එවැනි මවගේ ජීවිතය කෙරෙහි සද්භාවයෙනුත් ජන සමාජය කෙරෙහි යහපත් අකල්පයකිනුත් යුතුව විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ එකඟතාවය,අනුමැතිය සහ අධීක්ෂණය යටතේ රජයේ රෝහල්වල පමණක් ගබ්සාවක් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන තිබිය යුතු බව එම විශේෂඥ වෛද්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ වැඩි දුරටත් පෙන්වා දී ඇත.
ස්ත්‍රියක් දුෂණයකට,අපචාරයකට හෝ බලහත්කාරකමකට ලක්වීමෙන් පසුව යම් පිළිසිඳ ගැනීමක් සිදු වුණොත් අධිකරණයේ නියෝගයක් මත ගබ්සාවක් සිදු කර ගැනීමට අදාළ කාන්තාවට අයිතිය තිබිය යුතු අතර මුදලට ද නීති වොරෝධී ලෙස ද අපරාධයක් ලෙස ද ගබ්සාවක් කර ගැනීමට තිබෙන ඉඩ ප්රස්ථා සියල්ල සම්පූර්ණයෙන්ම අහුරා දැමිය යුතු යැයි ද ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එහිදී පැහැදිළි කර ඇත.
මුදලට නීති විරෝධී ගබ්සා සිදු කරමින් සිටියදී නීතියේ රැහැනට හසුව රැකියාව අහිමි වී සිටින එකතරා විශේෂඥ වෛද්‍යවරයකු විසින්, රජයේ ඇතැම් වෛද්‍යවරුන් සාපරාධී ගබ්සා සිදු කරන බවට ඒ අයට එරෙහිව ද්වේශ සහගත ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ දිගින් දිගට සිදු කරන අසත්‍ය පැමිණිලි හේතුවෙන් රජයේ ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍යවරුන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව ද එම විශේෂඥ වෛද්‍යවරුන් ජනාධිපතවරයා වෙත කරුණු දක්වමින් සඳහන් කර ඇත.
නොකළ වරදකට නීතියෙන් දඬුවම් විඳීමට අකමැති නිසා මවගේ ජීවිතයට අවදානමක් තිබුණත් ඇය කෙරෙහි සද්භාවයෙන් යුතුව ගබ්සාව සිදු කිරීම සම්බන්ධයෙන් ද දෙතුන් වතාවක් සිතා බැලීමට වෛද්‍යවරුන්ට මේ වන විට සිදුව තිබෙන බවට එහිදී කරුණු දක්වා ඇති විශේෂඥ වෛද්‍යවරුන් මේ හේතුවෙන් මව සහ දරුවා පමණක් නොව වෛද්‍යවරුන් ද අන්ත අසරණ වන අතර මේ තත්ත්වය සියලු දෙනා කෙරෙහි බලවත් අසාධාරණයක් බව ද පෙන්වා දී ඇත.
මේ අනුව මේ ප්රශ්නයේ සහ උද්ගත වී තිබෙන තත්ත්වයේ බරපතළකම තේරුම් ගෙන ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෛද්‍ය ප්‍රතිකාරවලට,කාන්තාවට සහ සමාජයට හිතකර වන අයුරින් ගබ්සා නීතියේ අඩුපාඩු සකස් කර එම නීතිය ශක්තිමත් කිරීමට එකඟ වී ඇත.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන්,නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායමක් එකට එක්ව ඉදිරියේදී සිදු කරන පුළුල් සාකච්ඡාවකින් මේ ප්‍රශ්නයට අදාළව අවසන් පියවර ගැනීමට නියමිතය.
Lanka Newsweek © 2024