ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉහළම මට්ටමේ නිදහස් සහ සාමකාමී මැතිවරණය ලෙස අවිවාදිත පැවති මහා මැතිවරණය වෙනුවෙන් කැපවූ සියලුම පාර්ශ්වයන් වෙත ප්‍රණාමය පුද කරන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මෙවර මහ මැතිවරණය නිදහස් හා සාමකාමී ආකාරයට අති සාර්ථක ලෙස මෙහෙය වූ හා ඒ සඳහා අනගි සහයක් ලබා දුන් පාර්ශ්ව ගණනාවක්ම හදුනාගත හැකිය. දේශපාලනයට අදාළ පාර්ශ්ව සැලකීමේදී ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය එමෙන්ම මෙවර මැතිවරණයට තරග වැදුන සියළුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන් එහිදී ඉතා තීරණාතමක ආදර්ශයක් රටට ලබා දී තිබේ.
එමෙන්ම ඊට නොදෙවෙනි අතිශයින්ම වැදගත් කාර්යභාරයක් සිදුකළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති,කොමසාරිස් ජනරාල් ඇතුළු කොමසාරිස්වරුන්, එම කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ නිළධාරීන් එහිදී ඇගයුමට පාත්‍ර විය යුතුය. මේ සියළු පාර්ශයන්හි කැපවීම හා දායකත්වය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම සාමකාමී හා නිදහස් මැතිවරණයක් අත්දකින්නට ජනතාවට අවස්ථාව උදාවිය. එය ආසියානු කලාපයටම පමණක් නොව සමස්ථ ලෝකයටම දැවැන්ත ආදර්ශයකි. රටක් ලෙස අප තරයේ ආරක්ෂා කරගත යුතුව ඇති ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය වර්ණවත් කිරීමකි. පොදුවේ රටට ඉමහත් ආඩම්බරයකි.
එමෙන්ම ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ ගරුත්වය මෙන්ම නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමස්ත ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ මෙවන් යහපත් ප්රවණතා තවදුරටත් තහවුරු කරගනිමින් රට හමුවේ ඇති අභියෝග ජයගැනීම සඳහා මෙය අවස්ථාවක් කරගන්නා ලෙසටය.
Lanka Newsweek © 2024