මෙයට කලකට පෙර ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණි ‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ (Lord of the Rings) චිත්‍රපට මාලාව සිනමා ලෝලීන්, විශේෂයෙන් තරුණ සිනමා රසිකයන් වසඟයට ගත් චිත්‍රපට මාලාවක් බව රහසක් නොවෙයි. මෙම චිත්‍රපට රස විඳි ප්‍රේක්‍ෂකයන් තුළ සතුට දැනවිය හැකි ආරංචියක් මේ දිනවල අසන්නට ලැබෙනවා. එනම් ළඟදීම තවත් Lord of the Rings චිත්‍රපට දෙකක් නිර්මාණය වීමට යන බවයි. ඇමරිකාවේ සුප්‍රකට වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම මෙයට ටික දිනකට පෙර මේ බව නිවේදනය කර තිබුණා.
මෙම අලුත් චිත්‍රපට දෙකෙන් පළමු චිත්‍රපටය දැනට නම් කර ඇත්තේ Lord of the Rings: The Hunt for Gollum යනුවෙන්. නමුත් මේ නම සමහර විට පසුව වෙනස් විය හැකි බවත් පැවසෙනවා. මේ වනවිට එහි තිරනාටකය රචනා කිරීමේ කටයුතු සිදු වෙමින් ඇති බවයි පැවසෙන්නේ. Lord of the Rings: The Hunt for Gollum චිත්‍රපටය තිරගත වීමට නියමිතව ඇත්තේ 2026 වසරේයි.
‘ලෝඩ් ඔෆ් ද රිංග්ස්’ පළමු චිත්‍රපට තුන සහ ඒ හා බැඳුණු The Hobbit චිත්‍රපට සියල්ල අධ්‍යක්‍ෂණය කළේ සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂ පීටර් ජැක්සන්. නමුත් ඉදිරියේදී නිර්මාණය කිරීමට යන චිත්‍රපටවල අධ්‍යක්‍ෂවරයා ඔහු නොවන බවයි පැවසෙන්නේ. නමුත් පීටර් ජැක්සන් නිෂ්පාදකවරයකු ලෙස මෙම ඉදිරි චිත්‍රපටවලට දායක වෙනවා. ඔහු දිගටම මෙම චිත්‍රපට පිටුපස සිටින ප්‍රධාන චරිතයක් වනු ඇති බව සඳහන්.
අලුතෙන් නිර්මාණය වන Lord of the Rings: The Hunt for Gollum චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නේ ඇන්ඩි සර්කිස්. පළමු චිත්‍රපටවල ඔහු තමයි ගොලම් ගේ චරිතයට කට හඬ දුන්නේ. ඉදිරියේදී නිෂ්පාදනය වන චිත්‍රපට බොහෝ දුරට ගොලම් චරිතය කේන්‍ද්‍ර කරගෙන නිර්මාණය වනු ඇති බවත් පැවසෙනවා.
Lord of the Rings පළමු චිත්‍රපට මාලාව චිත්‍රපට තුනකින් සමන්විත වුණා. ඒ The Fellowship of the Ring, The Two Towers, The Return of the King යන චිත්‍රපට තුනයි. ඒවා තිරගත වුණේ පිළිවෙළින් 2001, 2002 සහ 2003 යන වසරවලයි. මෙම චිත්‍රපට විකාශනය වන්නේ අසීමිත බලයක් සහිත මුද්දක් කේන්‍ද්‍ර කරගෙනයි. වන් රිංග් (One Ring) යනුවෙන් හැඳින්වෙන මෙම මුද්ද නිසා සෞරොන් නමැති දුෂ්ට පාලකයාට විශාල බලයක් හිමි වෙනවා. මුද්දෙන් සිදුවිය හැකි අනර්ථය ගැන දන්නා පාර්ශ්ව මෙම මුද්ද විනාශ කිරීම සඳහා ගන්නා උත්සාහය සහ එහිදී එල්ල වන අභියෝග ආදිය ගැනයි Lord of the Rings චිත්‍රපට මාලාවෙන් නිරූපණය වුණේ.
Lord of the Rings චිත්‍රපට සිනමා කලාවට දැඩි බලපෑමක් කළ අපූරු චිත්‍රපට මාලාවක් ලෙස පැසසුමට ලක් වුණා. එය සාමාන්‍ය සිනමා ප්‍රේක්‍ෂකයන්ගේ මෙන්ම විචාරකයන්ගේද සුවිසල් අවධානයක් දිනාගත් චිත්‍රපට පෙළක් වූ බව රහසක් නොවෙයි. අති දැවැන්ත නිර්මාණ පෙළක් වූ Lord of the Rings චිත්‍රපට නිෂ්පාදනය සඳහා වැය වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 280 කට ආසන්නයි. එම චිත්‍රපට විසින් උපයන ලද මුදල ඇ. ඩොලර් බිලියන 3 කට ආසන්න වූ බව පැවසෙනවා. සිනමා ඉතිහාසය තුළ වැඩිම මුදලක් ඉපැයූ චිත්‍රපට මාලා අතර Lord of the Rings චිත්‍රපට මාලාවත් ඉහළින්ම සිටිනවා.
මෙම චිත්‍රපටවල ප්‍රධාන චරිතයක් වූ ෆ්‍රෝඩෝ බැගින්ස් ගේ චරිතය නිරූපණය කළ එලයිජා වුඩ්ද මෙම සිනමාපට නිසා විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තා. පළමු සිනමාපටයේ රඟපාද්දී වයස අවුරුදු 20 ක පමණ තරුණයකු වූ එලයිජාගේ දැන් වයස අවුරුදු 43 ක්. ඔහු රඟපෑ සිනමාපටයක් පසුගිය වසරේත් තිරගත වුණා. එහි නම Toxic Avenger.
Lord of the Rings මුල් චිත්‍රපටවලින් ප්‍රේක්‍ෂකයන් හමුවට ආ බිල්බෝ බැගින්ස්, සරුමාන් යන චරිත නිරූපණය කළ ඉයන් හෝම් සහ ක්‍රිස්ටෝෆර් ලී මේ වනවිට ජීවතුන් අතර නැහැ. ඉයන් 2020 වසරේ ජීවිතයෙන් සමුගත් අතර ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 88ක් වුණා. 2015 වසරේ ක්‍රිස්ටෝෆර් ලී මියගියේ 93 වැනි වියෙහි පසුවෙද්දීයි. Lord of the Rings චිත්‍රපට මාලාව නිර්මාණය වූයේ ජේ.ආර්.ආර්. ටොල්කීන් විසින් රචිත නවකතා පෙළක් ඇසුරෙනුයි.
Lanka Newsweek © 2025