Friday 8th of November 2024

English Tamil
Advertiesment


මුජිබර්ගේ  WhatsApp ගිණුම හැක් කරයි 


2024-10-29 2921

සිය WhatsApp ගිණුමට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් පිවිස ඇති බවත්, සිය සමීපතමයන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත් සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට පැමිණිල්ලක් ගොනුකළේය.

තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මුජිබර් රහ්මාන් කියාසිටියේ තම වට්ස්ඇප් ගිණුම හැක්කර ඇති බව සහ තම සමීපතමයන් කිහිපදෙනෙකුට තම ජංගම දුරකථන අංකය හරහා මුදල් ඉල්ලා පණිවිඩ ලැබී ඇති බවයි.

“මගේ ළඟින් ඇසුරු කරන අයට වට්ස්ඇප් පණිවුඩ යවමින් මුදල් ඉල්ලා තිබෙනවා. මුදල් තැන්පත් කිරීමට බැංකු ගිණුම් අංක දෙකක් ද ලබා දී තිබෙනවා. මේ බව මට දැනුම් දුන්නේ මිතුරෙක්.” ඔහු පැවසීය

තම සමීපතමයන් කිහිපදෙනෙකු ඉහත කී බැංකු ගිණුම්වලට මුදල් මාරුකිරීමට උත්සාහ කර ඇති බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රීවරයා එය බරපතළ ප්‍රශ්නයක් බවද කියාසිටියේය.

මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් දේශපාලනඥයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින අවස්ථාවක කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු මෙම මූල්‍ය වංචාව සිදුකරන බව මුජිබර් රහුමාන් පෙන්වා දුන්නේය.

Advertiesment