Friday 8th of November 2024

English Tamil
Advertiesment


උතුර-නැගෙනහිර සඳහා ස්ථාපනය කළ පළාත් සභා නැවත සක්‍රීය කිරීම


2024-10-28 1404

 

[ආචාර්ය ජෙහාන් පෙරේරා]

 

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු ක්‍රියාමාර්ග කිහිපයක් ඔස්සේ ජාතික සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ මෙන්ම මැතිවරණ ව්‍යාපාරයේදී ද ප්‍රතිඥා දුන්නේය. "ජනතාවට පාලනයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දීම සඳහා" වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ඔහුගේ මැතිවරණ ප්‍රකාශනය ඔස්සේ රජය බැඳීසිටී.

ජාතිවාදී ගැටුම විසඳීම සඳහා ඉන්දියානු රජය සමඟ එකඟ වූ සාම ක්‍රියාවලියේ කොටසක් ලෙස 1987 දී පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදී. පළාත් සභා ක්‍රමයේ වැදගත්කම වන්නේ උතුර සහ නැගෙනහිර පළාත්වල බහුතරයක් වන දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට, පළාතේ තීරණ ගන්නා පුද්ගලයන් තෝරා පත්කර ගැනීමෙන්, රටේ එම ප්‍රදේශවල තීරණ ගැනීමේ බලය ලබාදීමයි. ශ්‍රී ලංකාව නිදහස ලබන අවස්ථාවේදී පැවැති තත්වය සමග සංසන්දනය කිරීමේදී, ඉන්දියාව සහ ස්විට්සර්ලන්තය ඇතුළු සාර්ථක රටවල් බොහෝමයක මෙවැනි බලය විමධ්‍යගත කිරීමේ ක්‍රම පැවැති බව දක්නට ලැබේ.

පිටව යන බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ගෙන් උරුම වූ මධ්‍යගත රාජ්‍ය ක්‍රමය විසින්, ජාතික බහුතරය සහ සුළුතර අතර ඵලදායී බලය බෙදාහැරීම වැළැක්වූ බව ජාතික සාම මණ්ඩලය විශ්වාස කරයි. මධ්‍යගත පාලනය අගනුවර ප්‍රදේශය සහ පළාත් අතර විශාල ආර්ථික විෂමතා ද ඇති කර තිබේ. මෙය රටේ ජනතාවගෙන් විශාල කොටසකට ආර්ථික වශයෙන් ආන්තිකකරණය වීමට සහ දේශපාලනිකව බලය අහිමි වීමට හේතු වී ඇත. බලය විමධ්‍යගත කිරීම ඇතුළත් 'පද්ධති වෙනසක්' කරා අපි ඉදිරියට යා යුතුය.

ජනාධිපතිවරයා විසින් පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් හා නිලධාරීන්ට වඩාත් කාර්යක්ෂම ලෙස කටයුතු කරන ලෙස මෑතකදී ලබාදුන් උපදෙස් ප්‍රශංසනීය වුවද, එය ජනාධිපතිවරයාගේ නියෝජිතයන් නොවන, ජනතා නියෝජිතයන් තීරණ ගන්නා, තෝරාපත් කරගත් පළාත් සභා පිළිබඳ ගැටලුව විසඳන්නේ නැත. ආණ්ඩුකාරවරු සෘජුවම ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන දේශපාලන පත්වීම් වේ. පළාත් සභා ක්‍රමය ඉතා වියදම් අධික බවත්, අනවශ්‍ය මට්ටමකින් රටට බරක් පටවන බවත්, යන තර්ක එහි සැබෑ අරමුණට අදාළ නොවේ. රජයේ බලධාරීන්ගේ මෑත කාලීන ප්‍රකාශ සමහරක්, පළාත් සභා ක්‍රමයේ අරමුණ සහ ජාතිවාදී ගැටුම විසඳීමේ එහි කාර්යභාරය පිළිබඳ අවධානය අහිමි කර ඇති බව ජාතික සාම මණ්ඩලය පෙන්වාදෙයි.

ජාතික සාම මණ්ඩලය ජනාධිපති අනුර දිසානායකට ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතයි. අපි ඔහුට සුභ පතන අතර, ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයට අනුකූලව රට සමෘද්ධිමත් හා සාර්ථක එකක් බවට පත්කිරීම සඳහා වන ඔහුගේ නිවැරදි අදහස් සහිත උත්සාහයන්ට සහාය දීමට සූදානමින් සිටිමු. රටේ සියලුම ප්‍රදේශවල ජීවත්වන සියලුම ප්‍රජාවන්ට මෙම පොරොන්දුව යථාර්ථයක් කරන ජාතික සංහිඳියා ක්‍රියාවලිය සඳහා කැපවීම පෙන්වීමට ද අපි ඔහුට ආරාධනා කරමු.

 

පාලක සභාව
 

ජාතික සාම මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටුමට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් ක්‍රියාකරන ස්වාධීන හා පක්ෂග්‍රාහී නොවන සංවිධානයකි. සියලු ජන කොටස්වල නිදහස, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරුකරන, සාමකාමී සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ දැක්මක් ජාතික සාම මණ්ඩලයට ඇත. ජාතික සාම මණ්ඩලයේ ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන්නේ විවිධ ජීවන තරාතිරම්වලට අයත් සහ රටේ සියලුම ප්‍රධාන වාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් සාමාජිකයන් විසිදෙනකුගෙන් යුත් එහි පාලක සභාව මගිනි.
 

Advertiesment