Wednesday 12th of May 2021

English Tamil
Advertiesment


ආණ්ඩුවට හදවතක් ඕනෑ කර තිබේ..!


2019-07-02 4164

රනිල්ට නොතේරෙන “එස්මන්ඩ්” තියරිය..!

බදු ගහද්දී මහින්ද ඒ.එස්ට ගහපු හැටි..!

ආණ්ඩුව නටන්නේ මුදල් අමාත්‍යංශයේ-මහ බැංකුවේ නිලධාරීන්ගේ පදයටය..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

රනිල් වික්‍රමසිංහගේ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ ජේ.ආර්ගේ තිරය පිටුපස සටන් සගයා පමණක් නොව දේශපාලන උපදේශකවරයා ද විය.ජේ.ආර්ගේ ආණ්ඩුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර  මුල්‍ය අරමුදල කියන පදයට නටන එක ගැන ඔහුගේ කැමැත්තක් තිබුණේ නැත.එස්මන්ඩ්, ජේ.ආර්ට ඒ ගැන කිහිපවතාවක්ම අනතුරු ඇඟවීය.ජේ.ආර් එසම්න්ඩ්ගේ උපදෙස් ඒ තරම් ගණන් නොගත්තේ ඒ වන විට ඔහු ලලිත්,ගාමිණී සහ රොනී මත තදින් යැපුණු නිසාය.

එස්මන්ඩ් අන්තිමේදී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තුන් වැනි ලෝකයේ රටවල ආර්ථික ලෙඩ හොඳ කරන්න කියා තිත්ත කසාය දීලා ඒ රටවල ආණ්ඩු වට්ටපු හැටි ගැන පෙන්වා දෙමින් දිගු ලිපියක් ලීවේය.එවකට විපක්ෂ නායක අනුර බණ්ඩාරනායකගේ අතට මේ ලිපිය ලැබිණි.ඔහු ඒ ලිපිය පාර්ලිමේන්තුවේ කියෙව්වේය.එස්මන්ඩ් නොකියා කීවේ ආර්ථිකය හදන්න ගිහින් ආණ්ඩුව නැති කර ගන්න එපා කියාය.

ජේ.ආර් වගේම එස්මන්ඩ්ගේ පුත් රනිල්ටත් 2002 දී මේ ඇත්ත තේරුණේ නැත.චන්ද්‍රිකා 2002 දී රනිල්ට රට භාර දෙන විට රටේ ආර්ථිකය බින්දුවටත් පහළ ඍණ අගයකට වැටී තිබුණේය.රනිල් ඇවිත් පළමුව කළේ ආර්ථිකය ගොඩ දමන වැඩේය.කටු ඇත්තේ මල් පුබුදුවමු කියමින් මිනිස්සුන්ට බඩ පටි තද කර ගන්න කියලා ආර්ථිකය හැදුවේය.චන්ද්‍රිකා බින්දුවටත් පහළ වට්ටපු භාණ්ඩාගාරය සල්ලිවලින් පිරෙව්වේය.

රනිල් ආර්ථිකය ගොඩ දමා දුන් පසු චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැරියාය.රනිල් බලා ගෙන සිටියේ ජනාධිපතිවරණය කට ළඟ තිබියදී ජනතාවට සහන මල්ලක් දී ජනාධිපති වෙන්නටය. ඊට කලින් චන්ද්‍රික පාර්ලිමේන්තුව විසුරුවා හැර රනිල්ගේ ආණ්ඩුව පරාජයට පත් කොට ඇයගේ ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැයෙන් සහන දුන්නාය.යුද්ධය ජය ගන්න අවි ආයුද මිලට ගත්තාය.මහින්ද යුද්ධය දින්නේ රනිල් භාණ්ඩාගාරයේ සල්ලි ඉතිරි කරලා ගිය නිසාය.

දැන් රනිල් යළිත් මෛත්‍රී එක්ක එකතු වී 2015 වේ ගත්තේ මහින්ද ඇතුළු රාජපක්ෂ පවුල හිස් කරපු මහ භාණ්ඩාගාරයකි.2015 වේ රවී මුදල් ඇමති වී ආර්ථිකය හදන්න පළමුව, භාණ්ඩාගාරයට සල්ලි හොයන්න පළමුව 2015 මහ ඡන්දය දිනන්න ජනතාවට සහන දෙන අය වැයක් ඉදිරිපත් කළේය.

අය වැයෙන් මහින්දලා ඇතුළු රාජපක්ෂලාට තරු විසි වුණි.රවීට එරහිව රාජපක්ෂලා විශ්වාස භංග යෝජනා දෙකක්ම ගෙනාවේ ඔහු බදු ගැහුවත්,තෙල්-ගෑස්-බස් ගාස්තු වැනි ජනතාගේ එදිනෙදා ජීවිතවලට බලපාන දේවලට අත නොතියා ආණ්ඩුව ආරක්ෂා කර ගන්න වැඩ කළ නිසාය.රවී මුදල් ඇමැතිකමින් විසි වුණාට පසු දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුව නටන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව මෙහෙය වන මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කියන පදයටය.

මේ නිලධාරීන් ආර්ථිකය ගොඩ ගන්නය කිය කියා ජනතාවට බදු ගහන්නේ සුද්දාගේ කාලයටත් වඩා ජනතාව ගැන වෛරයකින්ය.මෑතකදී අදායම් බදු කොමසාරිස්වරයා ජනතාවට තර්ජනය කරන්නාක් මෙන් කීවේ රට යන අයටත් බදු ගහනවා කියාය.තමන් නිලධාරීන් එවන්න කලින් ඇවිත් බදු ලිපි ගොනුව විවෘත්ත කර ගන්න කියා ඔහු ජනතාවට අනතුරු ඇඟවීය.ජේ.ආර්ගේ, ප්‍රේමදාසගේ, චන්ද්‍රිකාගේ, මහින්දගේ කාලයේ අදායම් බදු කොමසාරිස් එහෙම කීවා නම් ඔහු පහු වෙනිදාම ගෙදරය.මොවුන්ගේ කාලවල මේ නිලධාරීන් වැඩ කළේ ආණ්ඩු ආරක්ෂා කර ගන්න මිස ආණ්ඩු නැති කරන්න නොවේ.

ප්‍රේමදාසගේ ආණ්ඩු කාලයේ මහ බැංකු අධිකාරී නෙවිල් කරුණාතිලක බඩු මිල අඩු වී තිබෙන හැටි ජනතාවට කියන්න ගොස් විපක්ෂයේ අපහස උපහාසයන්ට පවා ලක් විය.හේතුව ඒ කාලයේ හිටපු නිලධාරීන් හිතුවේ මහ බැංකුව ආරක්ෂා කර ගන්න කලින් ආණ්ඩුව ආරක්ෂා කර ගන්නේ කෙසේ ද කියාය.දැන් ඉන්න නිලධාරීන් හිතන්නේ ලෝක බැංකුවව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන පදයට නටලා රාජපක්ෂලාව බැලන්ස් කරලා විශ්‍රාම ගියාම ලෝක බැංකුවේ හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ලොකු වැටුපකට රස්සාවක් ගන්නේ කොහොමද කියාය.

චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මුදල් අමාත්‍යංශ ලේකම්ව සිටියේ ඒ.එස් ජයවර්ධනය.පසුව ඔහු මහ බැංකු අධිපති විය.ඔහු ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පදයට ආණ්ඩුව නටවන්න ගොස් ආණ්ඩුව ගෙන ආපු මහින්ද රාජපක්ෂලාට,එස්.බී දිසානායකලාට යකා වැහිනී.වරක් චන්ද්‍රිකා බඩු මිල වැඩි වීමේ හේතුව සහ රටේ ආර්ථික තත්ත්වය ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුම්වත් කරන්න ඒ.එස් ජයවර්ධනලා ඇතුළු නිලධාරීන්ව කැඳවූවාය.එම රැස්වීමේදී එවකට රැඩිකල් ඇමතිවරයෙක් වූ මහින්ද ඒ.එස් ජයවර්ධනට බඩ පිරෙන්න දුන්නාය.වරක් චන්ද්‍රිකාගේ රැස්වීමක් අවසන් කොට ඒ.එස් ජයවර්ධන යද්දී, ගම්වල ශ්‍රී ලංකා කාරයෝ අපිට බනිනවා ආණ්ඩුව කන්නේ තමුසෙලා වගේ ටයි පටි කාරයෝ කියා ඒ.එස්ගේ ටයි පටියෙන් ඇදලා ගහන්න ගියේය.අද මේ ආණ්ඩුවටත් එවැනි රැඩිකල් ඇමතිවරු,මන්ත්‍රීවරු අවශ්‍යය.හදවතක් නැතුව සේ බදු වැඩි කරන මේ ආණ්ඩුවට හදවතක් දෙන්න,ජනතාව වෙනුවෙන් කතා කරන්න,හදවත් ඇති ඇමතිවරු,මන්ත්‍රීවරු අවශ්‍යය.

ජනාධිපතිවරණයක් කට ළඟ තිබියදී සහන දෙන්න ගියාම ජනතාව හිනා වෙන්නේ ආණ්ඩුවටය.ඩී.බී විජේතුංග 1994 මැයි දිනයේ සහන මල්ලක් දුන්නේය.චන්ද්‍රිකා 2001 මහ මැතිවරණයේදී ඍණ අගයට වැටුණු ආර්ථිකයක් තියා ගෙන සහන මල්ලක් ප්‍රකාශයට පත් කළාය.මහින්ද 2014 ඌව පළාත් සභා මැතිවරණයේදීත් 2015 ජනාධිපතිවරණයේදීත් තෙල් මිල,ගෑස් මිල අඩු කර ජනතාවට සහන දුන්නේය.මේ සහන ජනතාව පිළි ගත්තේ නැත.මෛත්‍රී-රනිල් ආණ්ඩුව ජනතාවට සහන දිය යුතුව තිබුණේ ජනවාරි පළාත් පාලන ඡන්ද පරාජයෙන් පසුවය.සිද්ධ වුණේ සහන තවතවත් කැපීමය.මේ ආණ්ඩුවට හදවතක් පණක් නොව ගඳ සුවඳවත් දැනෙන්නේ නැහැ කියන්නේ ඒකය.       

-ගුරුදා විග්‍රහය-

Advertiesment