Monday 10th of May 2021

English Tamil
Advertiesment


පරාජිතයින් 11ක් ජාතික ලැයිස්තුවෙන් රිංගු පාර්ලිමේන්තුවට වසර 3යි..!


2019-07-02 3923

ජාතියටම කරුමයක් වී ඇති ජාතික ලයිස්තුවේ උරුමය..!

(ජයකාන්ත ලියනගේ )

 

වත්මන් පාර්ලිමේන්තුවට අදාළ මහ මැතිවරණය පවත්වා අදට (17) වසර 03 ක් සපිරේ. මෙරට අර්බුද රැසක් නිර්මාණය වූ පාර්ලිමේන්තුව ලෙසින් ඉතිහාසයට එක් වන මෙම මැතිවරණයේදී ජාතික ලැයිස්තුව පත් කිරීම සහ එහි ඉතිහාසය සම්බන්ධයෙන් විමසා බැලීමකි.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ජාතික ලැයිස්තුව සැකසෙන්නේ මහ ජන ඡන්දයෙන් ජයග්‍රහණය කළ නොහැකි, ජාතික වටිනානමක් ඇති පුරවැසියන්ගේ සේවය රටට ලබා ගැනීම සදහාය.ඔවුන් කිසි විටෙක මහ ජන සේවය සදහා තමා තෝරා ගන්නැයි ඉල්ලමින් ජනතාව පසු පස යන්නන් නොව අතර මහ ජනතාවට සේවය කරන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුත්තේ මහජනතාවමය. සුවිශේෂී ගණයේ වෘත්තියවේදීන්, මහා විද්‍යාඥයින්, ආර්ථිකයේ මහා සැලසුම්කරුවන් වැනි ජාතියේ මහා බුද්ධිමතුන්ගේ සේවය රටට ලබාගැනීම ජාතික ලැයිස්තුව සැකසීමේ අරමුණ විය.

මෙවැනි බුද්ධිමතුන් මහ ජන සේවය පිණිස ජාතිය ඉල්ලා සිටින්නේද රටක් වශයෙනි. ඒ සදහා වූ ජාතියේ කැමැත්තේ ප්‍රමාණය, ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් වෙත මහ ජනතාව ලබාදුන් කැමැත්තේ ප්‍රමාණය නැති නම් ඒ ඒ දේශපාලන පක්ෂලබා ගත් ඡන්ද ප්‍රමාණය මත රදා පවතී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී ඇති ප්‍රතිපාදන යටතේ ජාතියේ බුද්ධිමතුන් විසි නවයකගේ (29) සේවය ජාතියට ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා මෙවර දේශපාලන පක්ෂ හතරකට (04) හිමිව තිබුණි.ඒ, යහ පාලනය සදහා වූ එක්සත් ජාතික පෙරමුණෙන් (එජාපෙ) 13 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (එජනිස) 12 ක්, දෙමළ ජාතික සන්ධානයෙන් (ටීඑන්ඒ) 02 ක් සහ ජනතා විමුක්ති පෙරමුණෙන් (ජවිපෙ) 02 ක් වශයෙනි.

මෙම විසි නම දෙනා නම් කර වසර තුනක් ඉක්ම යද්දී ඔවුන්ගෙන් ජාතික ලැයිස්තුව සැකසීමේ බලාපොරොත්තු වූ අරමුණු ඉටු වී තිබේ ද යන්න විමසා බැලීම වටියි.මේ ලිපියේ අන්තර්ගතය තර්කානුකූලව ගොඩනැගීමේදී ඇතැම් දේශපාලන පක්ෂ හෝ පාර්ශවයන් ඉලක්ක වී තිබෙන බව මතුපිටින් පෙනුනත් සමස්ථ විග්‍රහයේදී යථාර්තය පැහැදිලි වන බව ලියුම්කරුගේ අදහසයි.

2015 අගෝස්තු 17 දින පැවති ශ්‍රී ලංකාවේ 15 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුව යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රී ආසන 12 සදහා මැතිවරණයට තරග කර පරාජයට පත් වූ හත් දෙනෙක් සහ ජාතික ලැයිස්තුවට කලින්ම නම් කර තිබූ පස් දෙනෙක් තෝරා ගෙන තිබුණි.

එක්සත් ජාතික පක්ෂය යටතේ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත් වූවන් කිසිවෙක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් නොකිරීමට එම පක්ෂය කටයුතු කර තිබුණි.එක්සත් ජාතික පක්ෂයේ එවකට මහ ලේකම්ව සිටි කබීර් හෂීම් මහතා, පරාජිතයින් කිසිවෙක් සිය පක්ෂය යටතේ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් නොකිරීමට තීරණය කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින්ද ප්‍රකාශ කළේය.

එකසත් ජාතික පක්ෂයේ මෙම තීරණය පැසසිය යුතු මට්ටමේ ආදර්ශයක් වුවත් එම පක්ෂය යටතේ ආරම්භයේදී මුස්ලිම් මන්ත්‍රීවරයෙක්ට ද  පසුව සරත් ෆොන්සේකා මහතාට ද  පාර්ලිමේන්තු වරම් හිමි වන්නේ ජාතික ලැයිස්තුව යටතේය.ඒ වන විට සරත් ෆොන්සේකා මහතා, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යටතේ මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත් ව සිටියේය. එක්සත් ජාතික පක්ෂය යටතේ ජාතික ලැයිස්තුවෙන් පත් කර තිබූ එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවය හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සදහා සරත් ෆොන්සේකා මහතා පත් කර කර තිබුණි.එකසත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුව, මේ වන අතුරලියේ රතන හිමි, කරු ජයසූරිය, මලික් සමරවික්‍රම, ඩී එම් ස්වාමිනාදන්, ජයම්පතී වික්‍රමරත්න, තිලක් මාරපන, ආශු මාරසිංහ සහ සරත් ෆොන්සේකා ඇතුළු 13 දෙනෙක් නියෝජනය කරති.

ජනතා විමුක්ති පෙරමුණ පරාජිතයින් එක් අයෙක් සහ ජාතික ලැයිස්තුවට නම් කර සිටි එක් අයෙක් සිය පක්ෂයේ ජාතික ලැයිස්තු නියෝජනය ලෙස නම් කර තිබුණි. මාතර දිස්ත්‍රික්කයට ජනතා විමුක්ති පෙරමුණ යටතේ තරග කර පරාජයට පත් වූ සුනිල් හදුන්නෙත්ති මහතා සහ හිටපු විගණකාධිපතිවරයෙකු වූ සරත් චන්ද්‍ර මායාදුන්නේ මහතා එම දෙදෙනාය.

සරත් මයාදුන්නේ මහතාගේ පත් කිරීම ජාතික ලැයිස්තුවේ අරමුණු සදහා වූ සාධනීය පිළියමක් වූ නමුත් කෙටි දිනකින් ඔහු ඉල්ලා අස්විය. එම පුරප්පාඩුවට පත් කරන ලද්දේ බිමල් රත්නායක මහතාය.

දෙමළ ජාතික සන්ධානය, සිය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සදහා පත් කර ඇත්තේද පරාජිත අපේක්ෂකයින් දෙදෙනෙකි. ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කේ තුරෙයිරත්නසිංහම් මහතා සහ වන්නි දිස්ත්‍රික්කයේ ශාන්තී ශ්‍රී කාන්තරාජා මහතාය.

එක්සත් ජාතික පෙරමුණ ජාතික ලැයිස්තුව නම් කිරීමේදී ජාතික ලැයිස්තුවේ අරමුණු සම්පූර්ණයෙන්ම ඉටු වී නැතත් පරාජිතයන් නම් නොකිරීමෙන් (එක් අයෙක් සහ සුළු පක්ෂ හැර) අවම වශයෙන් ජනතා කැමැත්තට පිටු පා නැති බව හෝ පෙනී යයි.

එක්සත් ජාතික පෙරමුණ, දහ තුන් දෙනෙක් අතරින් පරාජිතයින් නම් කර ඇත්තේ එක් අයෙක් පමණක් වීමද යම් සාධනීය ලක්ෂණයකි. එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාද සමග එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවේ පරාජිතයින් කිසිවෙක් නොසිටි වකවානුවේ නිකුත් කළ කබීර් හෂීම් මහතාගේ නිවේදනය මගින් පරාජිතයින් නම් නොකිරීම ඔහු පෙන්වා දී තිබුණේ යහ පාලන අරමුණු ඉටු කිරීමක් ලෙසිනි.

යහ පාලන කතිකාවත ඇති කරන ලද්දේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ වේදිකාව මගිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්කළ යුත්තේ රටේ යහ පාලනය ඇති කිරීමට බවද එම වේදිකාවේ නිතර රැව් පිළි රැව් දුන්නේය.

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරට පත්ව වසර වසර 3 1/2 ක් ගතව තිබේ. මේ වන විට රටේ යහ පාලනය ගොඩනැගී තිබේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණ නොවේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජනතා නිදහස් පක්ෂයේත් නායකයාය. එම සංවිධාන දෙකේම ලේකම්වරුන් ඉවත්කර ඔහු මේ වන විට තමාට පක්ෂපාතී ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර ගෙන තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේත් තමාට හිතවත් අයගෙන් බහුතරය සම්පූර්ණ කර ගෙන තිබේ. එකසත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කිරීමේදී පූර්ණ බලය සියතට ගත්තේද මේ මගිනි.

කෙසේ නමුත් ජාතික ලැයිස්තුව නම් කිරීමේදී යහ පාලන අරමුණු ඉටු කළේ එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂය පවසයි.යහපාලන රජයට වසර තුනක් සපිරෙද්දී  එම තර්කය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි සත්‍යයක් වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ලැයිස්තුවට නම් කළ විසි නම  දෙනා අතරින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර ඇත්තේ පස් දෙනෙකු පමණි. ඒ ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා, ඒ එච් එම් ෆවුසි යන පස් දෙනාය.

ඩිලාන් පෙරේරා මහතා බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළේ නම් ඔහු ජයග්‍රහණය කිරීම හෝ ජයග්‍රහණය කළ තිදෙනාගෙන් අයෙකු පරාජය වීමට තිබූ ඉඩ බොහෝ වැඩිය.

එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 4 ක් ලැබේවී යැයි සිතිය නොහැකිය. මෙම මැතිවරණයේදී චාමර සම්පත් දසනායක මහතා ජයග්‍රහණය කරන අතර ඔහු ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධූරය භාර ගැනීමත් සමග හතර වැනි ස්ථානයට මනාප ලබා ගෙන සිටි ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට පාර්ලිමේන්තු වරම් හිමි විය.

2010 අප්‍රේල් 08 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන ලද්දේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසිනි. එම දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 7 ක් ලැබුණ අතර අප්‍රේල් 20 දින පැවති නාවලපිටිය මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද ප්‍රතිඵලය දිස්ත්‍රික් ප්‍රතිඵලයට එකතු වීමත් සමග මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගියේය.

මෙම මැතිවරණයේදී සරත් අමුණුගම මහතා මනාප ඡන්ද 44478 ක් ලබා මහනුවර දිස්ත්‍රික්කයේ 8 වැනියා ලෙස පාර්ලිමේන්තු වරම් ලැබීය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වන අතර ඔවුන්ට හිමි වන්නේ මන්ත්‍රී ධූර 5 ක් පමණි.

ඒ අනුව හිටපු මන්ත්‍රීවරුන් වන එරික් වීරවර්ධන සහ එස් බී දිසානායක වැන්නන්ද පරාජයට පත් විය.ෆයිසර් මුස්තාපා මහතාද මහනුවර සහ කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දෙවරකදී ජයග්‍රහණය කර තිබුණි. ඒ එච් එම් ෆවුසි මහතාද මුල් යුගයේ ඉතා ජනප්‍රිය දේශපාලන චරිතයක් වුවත් 2010 මැතිවරණයෙන් පසු ඔහුට හිමි වූ ජේෂ්ඨ ඇමති ධූරයත් සමග යම් පසු බෑමකට ලක් විය.

මේ අනුව ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, ෆයිසර් මුස්තාපා සහ ඒ එච් එම් ෆවුසි යන දේශපාලනඥයන් ජාතික ලැයිස්තුව නියෝජනය කිරීම නිවැරදි තීන්දුවක් බව පෙනේ.

නමුත් මෙහිදී ජාතික ලැයිස්තුව නිර්මාණයේ අරමුණු යම් පමණකට හෝ ඉටු වී ඇත්තේ සරත් අමුණුගම මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කිරීමෙන් පමණක් බව පෙනෙන්නට තිබේ.

ඔහු අප රටේ සිටි පරිපාලන කේෂේත්‍රෙයේ දැවැන්තයෙක් බව අවිවාදිතය. ෆයිසර් මුස්තාපා මහතා ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට පැමිණි අයෙකු වීමද අමතක නොකළ යුතුය.

මලිත් ජයතිලක මහතා ශ්‍රී ලංකා නිදහස් දේශපාලනයේ තිරය පිටු පස සිටි දැවැන්ත චරිතයකි.මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසත් නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපතිවරයා ලෙසත් ඔහු ඩලස් අලහප්පෙරුම මහතා යටතේ වසර 5 ක පමණ කාලයක් කටයුතු කළේය.

පසුගිය ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ මහතා පරදින බවට සංඛ්‍යා දත්ත ලේඛණ අනුව තහවුරු කළ ඒ මහතා ජනාධිපතිවරණයට නොයන ලෙස විවිධ පුද්ගලයින් හමු වී මහින්ද රාජපක්ෂ මහතාට බලපෑම් කළේය.

මේ තත්ත්වය මතම ඔහුට මහින්ද රාජපක්ෂ මහතා හැර යෑමට සිදු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු වඩාත් සමීප වූයේ මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍යය ඇමතිවරයාටය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය තරග කිරීම වෙනුවෙන් වූ මනස සකසා ගැනීමට මලිත් ජයතිලක මහතාගේ සංඛ්‍යා ලේඛණ ද හේතු වූවා විය හැකිය. ඔහු ජනාධිපතිවරණයේදී කළ කාර්යය භාරයද සුළුපටු නොවේ. මලිත් ජයතිලක මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරිණමන ලද්දේ ඊට කෘතගුණ සැලකීමක් වශයෙන්ය යන්න මුසාවක් නොවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දූර 12 අතරින් ඉතිරි හත් දෙනා නම් කරන ලද්දේ පරාජිතයින්ගෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට මඩකලපුව දිස්ත්‍රික්කයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් හිමි නොවූ අතර සන්ධාන ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් වූයේ මනාප ඡන්ද 16593 ක් ලබා ගත් එල් ඒ එම් හිස්බුල්ලා මහතාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මඩකලපුවෙන් තරග කිරීමට අවස්ථාව ඉල්ලා සිටියත් ඔහුට ජාතික ලැයිස්තුව ලබා දෙන බව පවසා මඩකලපුවෙන් නාම යෝජනා ලබා නොදීමට එම පක්ෂය ක්‍රියා කළේය.

අවසානයේදී ඔහු ජාතික ලැයිස්තුවෙන්ද ඉවත්කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් දමිළ ඡන්ද බෙදී නොයවා දෙමළ ජාතික සන්ධානයට ඡන්දය ලබා දෙන ලෙස ඔහු දමිළ ජනතානගෙන් ඉල්ලා සිටියේය.

විනයාගමූර්ති මුරලිදරන් මහතා මඩකලපුවෙන් තරග කළේ නම් හෝ සන්ධානයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මඩකලපුවෙන් මන්ත්‍රී ආසනයක් ලැබෙන්නට ඉඩ තිබුණි.

ඔහු තරග කළේ නම් ඔහු ලබා ගන්නා මනාප ප්‍රමාණය දිස්ත්‍රික්කයේ මුස්ලිම් නියෝජනය අභිභවා යාවී යන සැකය නිසා ඇති වූ මත ගැටුමක් හේතුවෙන් විනයාගමූර්ති මුරලිදරන් මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට අවස්ථාව අහිමි වූ බවට වූ ආරංචියද ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය.මෙම තත්ත්වය මත මඩකලපුවේ සන්ධාන නියෝජනය වෙනුවෙන් ඒ.එම් හිස්බුල්ලා මහතා පත්කළ බව කියති.

යාපනය දිස්ත්‍රික්කයෙන්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධූර හිමි වූයේ නැත. නමුත් දිස්ත්‍රික් ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ මනාප ඡන්ද 11120 ක් ලබා ගත් අංගජන් රාමනාදන් මහතාය.

යාපනයේ දමිළ නියෝජනය සදහා රංගජන් රාමනාදන් මහතා පත්කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ අනෙක් පරාජිතයින්පස් දෙනා වන්නේ මහනුවර එස් බී දිසානායක, කළුතර මහින්ද සමරසිංහ, කොළඹ තිලංග සුමතිපාල, මාතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ මොණරාගල ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා යන මහත්වරුන්ය.

මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් අතරින් ඩිලාන් පෙරේරා, එස් බී දිසානායක, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් මන්ත්‍රී ධූරයට වසර 3ක් ඉක්මව යද්දී නැවත මහින්ද රාජපක්ෂ මහතා වෙත සමීපව ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතිරි වී අත්තේ ඔවුන්ගෙන් මහින්ද සමරසිංහ, ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා, සරත් අමුණුගම, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා සහ ඒ එච් එම් ෆවුසි යන මහත්වරුන් පමණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය  නියෝජනය කළ තවත් ප්‍රබල අමාත්‍යවරුන් රැසක්ම පසුගිය මැතිවරණයේදී පරාජයට පත්විය. ඔවුන් අතර අනුරාධපුරයේ තිස්ස කරලියද්ද (37253), පොලොන්නරුවේ චන්ද්‍රසිරි සූරියආරච්චි (18325), මොණරාගල ජගත් පුෂ්ප කුමාර (46863), මාතලේ රෝහණ දිසානායක (58585) සහ නන්දිමිත්‍ර ඒකනායක (14971), මහනුවර එරික් වීරවර්ධන (41634), මාතර විජය දහනායක (24866) සහ හේමාල් ගුණසේකර (14934), කුරුණෑගල ශාන්ත බණ්ඩාර (42889) සහ ජයරත්න හේරත් (34035), ගාල්ල පියසේන ගමගේ (47248), පුත්තලම නියෝමාල් පෙරේරා (37417) සහ දයාශ්‍රිත තිසේරා (29383), ගම්පහ ෆීලික්ස් පෙරේරා (43476) සහ පණ්ඩු බණ්ඩාරනායක (42692) යන මහත්වරුන් ප්‍රධානය.

මොවුන් සියලු දෙනාම යහපාලන ආණ්ඩුවේ දින සියය යටතේ අමාත්‍ය ධූර ලබා ගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අයවෙති. මේ අතරින් ගාල්ලේ පියසේන ගමගේ මහතාට නැවත මන්ත්‍රී ධුරය හිමි වූ අතර එසේ වූයේ ගාල්ලේ ඡන්ද දායකයින් පස් දෙනෙක් ගීතා කුමාරසිංහ මහත්මිය ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක් බවට අධිකරණයට ඉදිරිපත් කරන ලද ඡන්ද පෙත්සමක් තහවුරු වීම නිසාය. මෙම ඡන්ද දායකයින් පස් දෙනා පියසේන ගමගේ මහතාගේ ආධාරකරුවන් බවද කියති.

මේ සියලු පරාජිතයින් අතරින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ලැයිස්තුව හරහා නැවත තෝරා ගන්නා ලද්දේ දකුණේ සිංහල සමාජයෙන් ඉහත කී පස් දෙනා පමණි. මෙම තෝරා ගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාධාරණීකරණය කළේ තමාට සහය දැක්වීම මොවුන්ගේ පරාජයට හේතු වූ බව කියමිනි.

පරාජිත අනික් පිරිස සදහන් කරන්නේද ඔවුන්ගේ පරාජයටද හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම බවයි. තමාට සහය දැක්වූ සියල්ලන්ටම අත් වූ ඉරණම සම්බන්ධයෙන් එක හැන්දෙන් නොබෙදීම පිළිබදව ජාතික ලැයිස්තුව අහිමි වූ පරාජිතයෝ බොහොමයක් කණස්සල්ලට පත්ව සිටිති.

ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඊළග ජයග්‍රහණය වෙනුවෙන් මේ වන විටත් මහින්ද රාජපක්ෂ මහතා වෙත ඇදී ගොස්ය. ඉතිරි පිරිස පිළිබදව නිශ්චිත තීරණයකට එළඹීම අපහසුය.

එස් බී දිසානායක මහතා, මෙවර මැතිවරණයේදී ලබා ගෙන ඇත්තේ මනාප ඡන්ද 40209 ක් පමණි. ඔහුට හිමි වූයේ 7 වන ස්ථානයයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීධූර 5 ක් හිමි වූ අතර 5 වන ස්ථානයට පත්ව ඇත්තේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාය. එස් බී දිසානායක මහතා සිටින්නේ කෙහෙලිය රඹුක්වැල්ල මහතාට වඩා මනාප ඡන්ද 25478 ක් පිටුපසිනි.

මහින්ද සමරසිංහ මහතාට හිමි වූයේ මනාප ඡන්ද 37480 ක් පමණි. කළුතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයට මන්ත්‍රී ආසන 5 ක් හිමි වූ අතර 5 වන ස්ථානය ලබා ගත්තේ පියල් නිශාන්ත මහතාය. ඒ මහතා මනාප ඡන්ද 71428 ක් ලබා ගත් අතර 8 වන ස්ථානය හිමි වූ මහින්ද සමරසිංහ මහතා ලබා ගෙන තිබුණේ මනාප ඡන්ද 33948 ක් පමණි.

තිලංග සුමතිපාල මහතාට හිමි වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ 13 වන ස්ථානයයි. කොළඹින් සන්ධානයට මන්ත්‍රී ධූර 7 ක් හිමි වූ අතර හත් වන ස්ථානය ලබා ගත් ගාමිණී ලොකුගේ මහතාට වඩා මනාප ඡන්ද 36717 ක් පිටුපසින් තිලංග සුමතිපාල මහතා සිටී.

මාතරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 5 ක් හිමි වන විට ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එම ලැයිස්තුවේ 6 වන ස්ථානයට පත් විය. 5 වන ස්ථානයේ සිටින චන්ද්‍රසිරි ගජධීර මහතාට වඩා මනාප ඡන්ද 5661 ක් පිටුපසින් ලක්ෂ්මන් යාපා මහතා සිටී.

මෙම මැතිවරණයේදී දිවයින පුරා දැවැන්ත ප්‍රසිද්ධියක් අත්කර ගත්තේ මොනරාගල ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතාය. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි එක් කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා හදුන් වන්නේ “අප්පච්චි මළෝ” කල්ලිය වශයෙනි.

මේ සදහා විජිතමුණි ද සොයිසා මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතු වී තිබේ. මොනරාගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 3 ක් හිමි වන විට විජිතමුණි ද සොයිසා මහතාට හිමි වූයේ 5 වන ස්ථානයයි. 3 වන ස්ථානයේ සිටින පද්ම උදය ශාන්ත මහතාට වඩා මනාප ඡන්ද 18358 ක් පිටුපසින් විජිතමුණි ද සොයිසා මහතා සිටී.

ඡන්දය අර්ථ දක්වන්නේ කැමැත්ත යනුවෙනි.ඡන්දය ජනතාවගේ කැමැත්ත යනුවෙන් ප්‍රකාශ කරන අවස්ථාද ඇත. මැතිවරණයක් පවත් වන්නේ ජනතාවගේ කැමැත්ත ලබා ගැනීම සදහාය.

මැතිවරණයක් සදහා රජයේ වියදම් ලෙස පමණක් රුපියල් කෝටි ගණනක් වැය වන බව මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවලින් සනාථ වේ. අපේක්ෂකයින්ද කරන වියදම් සැලකූ විට මැතිවරණ වියදම රජයේ වියදම වගේ පස් හය ගුණයකි. මෙවන් දැවැන්ත වියදමක් දරා පවත් වන මැතිවරණයකින් පසුව එමගින් ජනතා කැමැත්ත ප්‍රදර්ශනය නොවන්නේ නම් ඒ සදහා දැරූ සමස්ථ වියදමම  නාස්තියකි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව විසින් තෝරා ගනු ලබන්නේ තමන් වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු තමන්ගේ නියෝජිතයාය. ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නා ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මෙසේ තමන් තෝරා ගන්නා නියෝජිතයාය.

තීන්දු තීරණ ගැනීමට සියලු මහ ජනතාවට පාර්ලිමේන්තුවට යා නොහැකි නිසා තමන් වෙනුවෙන් තීරණ ගැනීමට නියෝජිතයා තොරා පාර්ලිමේන්තුවට යවනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යනුවෙන් හදුන් වනු ලබන්නේ මෙසේ අප වෙනුවෙනු තීන්දු තීරණ ගැනීමට අප විසින් තෝරා යවන අපගේ නියෝජිතයාය.

මැතිවරණයේ පරාජිතයින් යනු මහ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට නොසුදුස්සන් ලෙස මහ ජනතාව විසින් තහවුරු කළ පුද්ගලයින්ය. මෙසේ නුසුදුස්සන් ලෙස මහ ජනතාව විසින් තීන්දු කළ පුද්ගලයින් නැවතත් ජාතික ලැයිස්තුව හරහා මහ ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට යොමු කිරිම ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම උදා කිරීමකි.

අප වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා පුද්ගලයින් අප වගේ නොවුණ හොත් ඔවුන් අපිව නියෝජනය නොකරන බව පොදු පිළි ගැනීමයි. බොහෝ විට අපිව සැබෑ ලෙසම නියෝජනය කරන්නේ අප වගේ ජීවත් වන අයයි.

අප බඩු ගන්නා කඩෙන් බඩු ගන්නා, අපගේ දු දරුවන් යවන පාසැලට තමන්ගේද දු දරුවන් යවන, අප ගමන් ගන්නා ප්‍රවාහන ක්‍රමය භාවිතා කරන පුද්ගලයින් සැබෑ ලෙසම අපිව නියෝජනය කරන්නේ යැයි සිතිය හැකිය. මහ ජනතාවට එවැන්නන් පත් කිරීමට නොහැකි නම් අවම වශයෙන් ඊට ළගින් හෝ යන්නන් සිය නියෝජිතයින් ලෙස පත් කළ යුතුය.

පරාජිතයින් ජාතික ලැයිස්තුවට නම් කිරීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ පරාජයට හේතු වූයේ තමන්ට පක්ෂපාතී වීම බවයි. මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් මොවුන් පරාජය කළ යුතු යැයි කියූ බවක්ද කියති.

පසුගිය මහ මැතිවරණයේදී සාපේක්ෂව හොර ඡන්ද දැමීමක් හෝ මැතිවරණ අක්‍රමිකතා සිදු නොවූ බවද මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත. මැතිවරණයකදී තමන්ට ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීම හෝ වෙනත් අයෙකුට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවිරෝධී හෝ නීතී විරෝධී ක්‍රියාවක් නොවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ වේදිකාවේදීඑක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටීම වගේම එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටීම සුලබ දෙයකි.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ඡන්දය දෙන්න යැයි කිසිවෙක් නම් නොකළත් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටි බවද අමතක නොකළ යුතුය.

එකම කණ්ඩායම තුළ වුවත් තමන්ගේ සුදුසුකම් ප්‍රකාශ කර ඡන්දය ඉල්ලා සිටීමත් තවත් අයෙකුගේ නුසුදුසුකම් ප්‍රකාශ කර ඡන්දය ලබා නොදෙන ලෙස ඉල්ලා සිටීමත් ප්‍රජාතන්ත්‍රවාදීය.

නිවැරදිම මහ ජන නියෝජිතයා  තෝරා ගැනීමට හැකි වන්නේද එවිටය. සියලු අදහස් කිරා මැන තීන්දුව ගන්නේ මහ ජනතාව වීම නිසාත් දේශපාලනඥයින් සෑම විටම මහ ජනතාව බුද්ධිමත් බව ප්‍රකාශ කරන නිසාත් යමෙකුට ඡන්දය දෙන්නට එපායැයි කවරෙක් හෝ කරන ප්‍රකාශයකින් හානියක්වන්නේ යැයි සිතිය නොහැකිය.

ඒ නිසාම මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ අපේක්ෂකයින් පරාජයට පත් වූයේ ඔවුන්ට ඡන්දය ලබා නොදෙන ලෙස මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් කරන ලද ඉල්ලීම නිසා යැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කරන ප්‍රකාශය පිළි ගත නොහැකිය. මහින්ද රාජපක්ෂ පාර්ශවය එවන් ඉල්ලීමක් කළා යැයි ලියුම්කරු ප්‍රකාශ කරන්නේද නැත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ජනාධිපති ධූරයට පත් වන්නේ රටේ යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන බවට ප්‍රතිඥා දෙමිනි. එසේ නම් රටේ මහ ජනතාව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදීව ලබා දෙන ලද තීන්දුවක් නොඉවසා ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කිරීම යහ පාලනයට කොතරම් ගැලපේද යන්න ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන්ට නොපෙනීම කණගාටුදායකය.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍ර විරෝධි නොවන බවද ප්‍රකාශ කළ හැකිය. ඒ මැතිවරණ පනත අනුව ජාතික ලැයිස්තුව නම් කිරීමේදී  ලැයිස්තුවේ සිටින අය හෝ පරාජිතයින් නම් කළ හැකි නිසාය. මේ අනුව පනත ප්‍රජාතන්ත්‍රවාදී  නැත යනුවෙන්ද තර්කයක් වුවද ඉදිරිපත් කළ හැකිය.

නව පාර්ලිමේන්තුවේ පළමු කාර්යය, නව මැතිවරණ ක්‍රමයක් හදුන්වා දීම බව මැතිවරණයට පෙර කියවිණි. සමානුපාතික ඡන්ද ක්‍රමය ඉදිරියටත් පවතින්නේ නම් අවම වශයෙන් ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් ජාතික ලැයිස්තුව හරහා නැවත පත් නොකිරීමට අවශ්‍ය නීතිමය පසුබිම හෝ සැකසිය යුතුය.

වැඩිම පරාජිතයින් සංඛ්‍යාවක් (11) ජාතික ලැයිස්තුව හරහා මෙවර නම් කිරීම මෙම නීතිමය පසුබිම සැකසීමට වඩාත් මහෝපකාරී වේ. මීට එරෙහිව මහ ජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙකු වන සෝමවීර චන්ද්‍රසිරි මහතාද 2015 අගෝස්තු 25 බදාදා දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී මානව හිමිකම් නඩුවක් පැවරීමටද කටයුතු කළේය. නමුත් අද වන විට සෝමවීර චන්ද්‍රසිරි මහතා මහ ජන එක්සත් පෙරමුණ අතහැර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා සමීප වී තිබේ.

ජාතික ලැයිස්තුව සැකසෙන්නේ ජේ ආර් ජයවර්ධන මහතා විසින් 1978 දී සකස් කරන ලද දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමගය. 1978 පාර්ලිමේන්තු මැතිවරණය පැවතියේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කේවල ක්‍රමයට වන නිසාත් 1983 ජනාධිපතිවරණයෙන් පසුව ජනමත විචාරණයක් හරහා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම නිසාත් සැබෑ ලෙසම ජාතික ලැයිස්තුව ක්‍රියාවට නැගෙන්නේ 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවය.

1989.02.15 දින පැවති මෙම මැතිවරණයේදී ජාතික ලැයිස්තුව යටතේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 15 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 09 ක්, ද්‍රවිඩ පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය, එක්සත් සමාජවාදී පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ සහ යාපනය ස්වාධීන කණ්ඩායම යන පක්ෂවලට ආසන 01 බැගිනුත් හිමි විය.

මෙම මැතිවරණයෙදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  විසින් නම් කරන ලද එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වූයේ මර්වින් සිල්වා මහතාය. ඔහු එවර මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කොට පරාජයට පත් වූ අයෙකි. ඒ අනුව බලන කළ පරාජිතයින් නම් කිරීම පළමුවෙන්ම ආරම්භ කර ඇත්තේද  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  විසිනි.

2000.10.10 දින පැවති මැතිවරණයේදී ජාතික ලැයිස්තුව යටතේ පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ආසන 13 ක්, එක්සත් ජාතික පක්ෂයට 12 ක්, ජනතා විමුක්ති පෙරමුණට 02 ක් මෙන්ම ජාතික සමගි පෙරමුණට හා සිහළ උරුමයට එක බැගිනුත් හිමි විය.

මේ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රී ආසනයක් සදහා නම් කරන ලද්දේ අන්ජාන් උම්මා මහත්මිය වන අතර ඇය එම මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තරග කොට පරාජයට පත්ව තිබුණි.

2001.12.05 පැවති මැතිවරණයේදීද ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 2 ක් හිමි වූ අතර එවරද පරාජිත අපේක්ෂකයෙක් වූ එස් කේ සුබසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එම පක්ෂය ක්‍රියා කර තිබුණි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ වෙනත් පක්ෂ රැසක්ද සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස පළමුව තරග කරන ලද්දේ 2004 අප්‍රේල් 02 දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදීය.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තුව යටතේ මන්ත්‍රී ආසන 13ක් ද එක්සත් ජාතික පක්ෂයට 11ක් ද  දෙමළ සන්ධානයට සහ හෙළ උරුමයට 2 බැගින් ද  මුස්ලිම් කොන්ග්‍රසයට එකක් ද වශයෙන් හිමි විය.

මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු එක් මන්ත්‍රී ආසනයක් ලැබුණේ මේරි ලුසිල්ඩා මහත්මියටයි. ඇය මර්වින් සිල්වා මහතාගේ බිරිද වූ අතර එම මැතිවරණයෙන් මර්වින් සිල්වා මහතා පරාජයට පත්ව සිටියේය.

සතියකින් පමණ පසුව මේරි ලුසිල්ඩා මන්ත්‍රීතුමිය ඉල්ලා අස් වූ අතර හිස් වූ අසුනට පත් කෙරුණේ පරාජිත මර්වින් සිල්වා මහතාය. එම මැතිවරණයේදී මර්වින් සිල්වා මහතා ලබාගෙන තිබුණේ මනාප ඡන්ද 2236 ක් පමණි.

මෙම මැතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමි වූයේ රත්නසිරි වික්‍රමනායක සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ටය. ඔවුන් එවර මැතිවරණයට තරග නොකළ අතර ජාතික ලැයිස්තුවට හෝ නම් කර තිබුණේ නැත. රත්නසිරි වික්‍රමනායක මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ජනදාස පීරිස් මහතාට ඉල්ලා අස්වීමටද සිදුවිය. එයින් පසුව වැඩිම පරාජිතයින් පිරිසක් මන්ත්‍රීවරුන් ලෙස ජාතික ලැයිස්තුව හරහා පත් කෙරුණේ පසුගිය මැතිවරණයේදීය. එය සංඛ්‍යාත්මකව 11 කි. මෙම ක්‍රමයට තිත තැබීමට අවශ්‍ය සමාජ කතිකාවත නිරිමාණය කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

   

Advertiesment