Friday 8th of November 2024

English Tamil
Advertiesment


මහා මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක්ම සිය අපේක්ෂකයන් පිළිබඳව රටට සහතික විය යුතුයි 


2024-10-04 8961

 

ඉදිරි මහා මැතිවරණයේ දී සෑම දේශපාලන පක්ෂයක් ම සිය අපේක්ෂකයන් පිළිබඳව රටට-ජනතාවට සහතික විය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රදර්ශනය වූ ආදර්ශමත් දේශපාලන සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කල යුතුව ඇතැයි යන්න සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපරයේ ස්ථාවරය යි. මෙවර මැතිවරණය ඉතාමත් ම සාමකාමීව පැවතිණ. පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් ම වාර්තා නොවි ය. ජයග්‍රාහකයා සිය ජයග්‍රහණය නිහතමානී ලෙස පිළිගත් අතර පරාජිත අපේක්ෂකයා ද ජනමතයට හිස නැමී ය. එක් සති අන්තයක් තුළ සිදු වූ මෙම ක්‍රියාවන් ඉතාමත් යහපත් බව අපගේ විශ්වාසයයි. එය රටවැසියන්ට ආඩම්බරයකි. රටට ගෞරවයකි. 

දැන් අප අවධානය යොමු කල යුත්තේ ඊළඟ මැතිවරණය දෙසට ය. එළැඹෙන මහ මැතිවරණය එහි දී ප්‍රධාන වේ. මේ වන විටත් ප්‍රවේශ වී ඇති මෙම යහපත් දේශපාලන සංස්කෘතිය තවදුරටත් යාවත්කාලීන කිරීමට නම් ඉදිරි පාර්ලිමේන්තුවට ගරු කටයුතු මහජන නියෝජිතයන් පත්කර ගැනීම ඉතාමත් ම අවශ්‍යය. සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සම්පූර්ණ වගකීම පැවරීම අසාධාරණ වුවත් යම් පිරිසකගේ හැසීරීම් හා ක්‍රියාකලාපයන් හේතුවෙන් පසුගිය කාලයේ අපගේ පාර්ලිමේන්තුව ජනතාවගේ ශාපයට ලක්ව තිබු බව පැහැදිලි සත්‍යයකි. එය නොපමාව ම අප විසින් ම  යහපත් ආකාරයට පරිවර්තනය කර ගත යුතුව ඇත. 

ඒ් අනුව ඉදිරි මහ මැතිවරණයේ දි මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් විසින් ම සිය අපේක්ෂකයන් වෙත නාම යෝජනා ලබාදීමේ දී  ඒ් කිසිදු අපේක්ෂකයෙක් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය හා ස්ත්‍රී දූෂණ වැනි බරපතල චෝදනාවකට ලක් ව නොමැති බවට මහජනතාව වෙත සහතිකයක් ලබාදිය යුතු ය. එමෙන් ම ඔවුන් විසින් ආදායම් බදු ගෙවා ඇද්ද යන්න හා නොඑසේ නම් ඒ් මන්ද යන්න මෙන් ම අවශ්‍ය නම් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට සහතිකයක් ජනතාව හමුවේ තැබිය යුතුව තිබේ. මීට වසර 15කට පමණ පෙර පාර්ලිමේන්තුවේ උසස් පදවි පිළිබඳ කමිටුව ( High Post Committee) අමාත්‍යාංශ ලේකම්වරුන්, තනාපතිවරුන් සහ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් පත්කිරිමේ දී සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සහතිකයක් ලබාගැනීමට නියම කර ඇති හෙයින් එම පිළිවෙත පාර්ලිමේන්තුවට පත්වන නියෝජිතයන්ට ද අදාල කර ගැනීම යෝග්‍ය වනු ඇත. 

එවැනි සහතිකයක් ලබාදෙන්නේ ද නොඑසේ නම් ඊට හේතුව කුමක්ද යන්න පැහැදිලි කිරීම මේ රටේ සියළුම දේශපාලන පක්ෂවල වගකීම වන අතර ඔවුන් එසේ නොකරන්නේ නම් මේ රටේ ජනතාව සැබෑ තතු  අවබෝධ කරගනිමින්  නිවැරදි තීන්දුවක් ගත යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මෙම යෝජනාව රටට ඉදිරිපත් කරන්නේ කිසිදු ආකාරයක පටු අපේක්ෂාවකින් නොවන බව ද රටේ අනාගත  යහපත අරමුණු  කරගනිමින් සද්භාවයෙන් යුතුව වන බව ද වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමු.  

Advertiesment