ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස මහ ජන වරමින් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය උණුසුම් සුභ පැතුම් පිරිනමන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ..
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන වරමින් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මැතිතුමාට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය උණුසුම් සුභපැතුම් පිරිනමන්නෙමු. ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ අවස්ථාට එක්වූ අනුර කුමාර දිසානායක මැතිතුමා තමා අපේක්ෂා කරන ආකල්පමය වෙනස හා ගොඩනඟාගත යුතුව ඇති සාමකාමී සහජීවනය පිළිබඳව අවධාරණය කිරීම සහ ජාතික වැදගත්කමකින් යුතු කරුණුවලදී තම සහාය රජයට ලබාදෙන බව ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කිරීමත් අපට සැනසීමක් ලබාදෙන කරුණුය.
ශ්‍රී ලංකාවේ අනාගත යහපත උදෙසා සිදුකළ යුතු ආර්ථික, දේශපාලන හා සමාජ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව නව ජනාධිපතිවරයා විසින් ප්රමුඛ අවධානයක් යොමුකළ යුතුව ඇතැයි අප විශ්වාස කරන්නෙමු. එහිදී නව පනත් ගණනාවක් සම්මත කරගැනීමේ අවශ්‍යතාවයක් පවතී. එහිදී පසුගිය කාලය තුළ අල්ලස් හෝ දූෂණ විරෝධී පනත, මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත, වත්කම් හා බැරකම් පනත සක්‍රීය කිරීම වැනි රටට වැදගත් නව පනත් ගණනාවක් සම්මත කරගැනීම සහ 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේදී ඒවාට නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා සිදුකළ කැප කිරීම්ද අමතක නොකරන්නෙමු. එමෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රටේ ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කරන්නා වූ දෙවොළක් මිසක එකිනෙකාට පරිභව කරන්නා වූ මඩ ගොහොරුවක් නොවීමට වග බලා ගැනීම ඉදිරියේදී පත්වීමට නියමිත මහජන නියෝජිතයන් වෙතින් අප අපේක්ෂා කරන්නා වූ වැදගත්ම කාර්යභාරයකි.
ඊට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගයද රටට ලබාදුන් ප්‍රධානතම පොරොන්දුවක් වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉතාමත්ම කඩිනමින් සිදුකරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවටද ස්ථිරසාර විසඳුමක් ලබාදීමද ඉතාමත්ම අත්‍යාවශ්‍ය කාරණයකි. ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමද එහිදී ඒ සඳහා සියලූම පාර්ශ්වයන්හි සහාය හා දායකත්වය ලබා ගැනීමද රට වෙනුවෙන් සිදුකළ යුතුව ඇති වැදගත්ම කාර්යයකි.
එමෙන්ම නව ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් අප ඉල්ලා සිටින්නේ ඇදවැටී ඇති ආර්ථික අගාධයෙන් රට ගොඩනැගීමේ ක්‍රියාවළියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සිදුකරන සාකච්ඡා තුළ ඇති කරගත් සම්මූතීන් සහ ණය හිමියන් සමග සිදුකරන සාකච්ඡා සාර්ථක අවසානයක් කරා රැගෙන යාම සිදුකළ යුතුව ඇතැයි යන්නය. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ
අධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා හා අමාත්‍යංශයේ නිලධාරින් සිදුකර ඇති කැපවීමද අප මෙහිදී ඉතාමත්ම අගය කොට සලකන්නෙමු.
මේ රටේ අසරණ ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කරලීම සඳහා නව රජයට විශාල වගකීමක් ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. එහිදී රාජ්‍ය නිලධාරීන් සතුව දැවැන්ත කාර්යභාරයක් පවතී. එම කාර්යයේදී යල්පැන ගිය ආකල්ප වලින් මිදීමද අත්‍යාවශ්‍යය. අද වන විට අප රටේ ජනතාවගේ ප්‍රාර්ථනය වී ඇත්තේ, දේශපාලන, සමාජ හා ආර්ථික ක්ෂේත්රයේ නව සංස්කෘතියක් ඇතිවනු දැකීමය. ඒ තුළ ජීවත්වීමේ අයිතිය මැනවින් තහවුරු කළ යුතුව තිබේ. මේ රටේ සමස්ත සමාජයම ඒ ගැන අවධානයක් යොමුකළ යුතුව ඇත. පසුගිය කාලයේදී දක්නට ලැබුණ ඇතැම් අසාධාරණ වැඩවර්ජන හේතුවෙන් මේ රටේ සමාන්‍ය ජනතාවට ඇති කළ පීඩනය, රටේ ආර්ථිකයට සිදුකළ හානිය අවබෝධ කරගගැනීමද එහිදී ඉතා වැදගත්ය.
ස්වාධීන හා අපක්ෂපාතී පුරවැසි සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නව දැක්ම සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා යයි ප්‍රාර්ථනා කරන අතර, නිදහස් හා සාමකාමී මැතිවරණයක් උදෙසා කැපවූ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට, පොලිස් නිලධාරින්ට, මැතිවරණ නිරීක්ෂණ ආයතනයන් හා සියලූම රාජ්‍ය සේවකයින් වෙත අප අපගේ ප්‍රශංසාව පළ කරන්නෙමු.
Lanka Newsweek © 2024