ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට උත්සාහ කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සව අවස්ථාව අමතමිනි.
“නිදහස් අධ්‍යාපනය ගැන බොහෝ දෙනා කතා කළාට මේ රටේ සිදු කළ විප්ලවය එහි තිබෙන බැරෑරුම් කම අපේ හුඟක් දෙනෙක් වටහා ගෙන නෑ. ඔබ හැමදෙනාම දන්නවා ඉන්දියාවේ ජනාධිපති ධුරයට කෙයාර් නාරායන පත්වුණා අනූව දශකයේ අග භාගයේ. එතුමා ජනාධිපති උනා ම එතුමා ඒ ජනාධිපති ධුරය භාර අර ගෙන එතුමා සිය ගමේ (ඔහු දකුණු ඉන්දියානු ජාතිකයෙක්) පාසලට ගියා. ඇයි ගියේ? එතුමා කුලහීනයෙක් නිසා එතුමා මුලින් ම ඒ පාසලට ගිය අවස්ථාවේ ඔහු ඒ පාසලට බඳවා ගත්තේ නෑ. ඒ බව මුළු ඉන්දීය සමාජයට ම පෙන්නන්න තමයි ඔහු එම පාසලට ගියේ. මේ රට කොච්චර විශිෂ්ට රටක් ද කියනවා නම්, මේ රටේ කිසිම පාසලකට ශිෂ්‍යයෙක් ඇතුළත් කර ගැනීමේ දී කුලය සාධකයක් නැහැ.
ඒ වගේ ම ඔබ හැමදෙනා ම දන්නවා පාකිස්තානයේ මලාලා දැරියගේ කතාව. ඇයට නියෝගයක් ලැබුණා කාන්තාවන් අධ්‍යාපනය ලැබිය යුතු නැහැ කියලා. ඒ නියෝගය කඩ කරමින් ඇය පාසල් වලට යන්න අනික් අය වත් උනන්දු කළා. ඇයත් පාසල් ගියා. එක දිනයක ඇය ගමන් කරමින් සිටපු බස් රථයට ඇතුළු වෙලා ඇය ව සොයා ගෙන ඇයට වෙඩි පහරක් එල්ල කළා. ඇය ඉන් පසු කාන්තාවන්ගේ අධ්‍යාපනය පිළිබඳ විශාල ව්‍යාපාරයක් ලෝකය පුරා ගෙන ගියා. මේ රටේ කවමදාවත් කාන්තාවක් අධ්‍යාපනය ලබන්න ආවා ම කාන්තාවක් වීම නිසා, පාසලකින් එළියට දාලා නැහැ. ඒ නිසා මතක තියා ගන්න, මේ රට හරි විශිෂ්ට රටක් ඒ පැත්තෙන්.
අපි දන්න කොමියුනිස්ට් රටවල පවා චීනයේ පවා, අනෙකුත් රටවල පවා උසස් අධ්‍යාපනය උපාධි මට්ටමේ අධ්‍යාපනය නොමිලේ ලැබෙන්නේ නෑ. ඒ වගේ ම වෙනත් රටවල, විශේෂයෙන්ම බටහිර රටවල, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල ප්‍රශ්නයක් අහනවා, මොකක්ද? අපේ බදු මුදලින් ඇයි? අපි අනුන්ගේ දරුවන්ට උගන්වන්නේ. මේ රටේ කවර දේශපාලන පක්ෂයක වත්, කිසිම කෙනෙක්, කවමදාවත් ඔය ප්‍රශ්නය අහලා නෑ. ඇයි අපේ බදු මුදලින්, අනුන්ගේ ළමයින්ට උගන්වන්නේ? ඒ නිසා මේ රට ඉතා ම හොඳ සදාචාර සම්පන්න සංස්කෘතික උරුමයක් සහිත ව තමයි මේ නිදහස් අධ්‍යාපනය ගෙනැවිත් තිබෙන්නේ. හැබැයි අප ඉදිරියේ භයානක, බරපතළ අභියෝග ගණනාවක් ම තිබෙනවා.
මේ අවුරුදු පහට අවුරුදු දහ අට ඉක්මවපු එකොළොස් ලක්ෂයක් මෙවර අලුතෙන් ඡන්දය ලබා දෙනවා. තව අවුරුදු පහකින් තවත් දොළොස් ලක්ෂයක් ඡන්දය ලබා දෙන්න නියමිතයි. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරයාගේ කාලසීමාව ඇතුළත. මේ දොළොස් ලක්ෂ අර එකොළොස් ලක්ෂයයි එකතු වුනා ම විසිතුන් ලක්ෂයක්. ඊට අමතරව පසුගිය වසර හතර ඇතුළත විශ්වවිද්‍යාලවලින් පිට වෙච්ච කිසිම කෙනෙකුට රැකියා ලැබිලා නැහැ. එහෙම රැකියා විරහිත පිරිසයි සියල්ල ම එකතු කළාට පස්සේ අද විශාල තරුණ අසහනයක් මේ රටේ පැතිරී තිබෙනවා. අපි මතක තබා ගත යුතුයි මේ රටේ පළවෙනි තරුණ කැරැල්ල සිදු වුණේ ජනතා විමුක්ති පෙරමුණේ මේ රටේ පළවෙනි රැකියා විරහිත උපාධිධාරියා බිහිවුණා 1965 දී. ඒ රැකියා විරහිත උපාධිධාරියා තමයි කැරලිකාරයෙක් බවට පත් වෙලා විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාල දෙක හිර කඳවුරු වෙලා අවුරුදු තුනක් තිබ්බා. ඒ නිසා අපට අප ඉදිරියේ මේ දරුවන්ගේ රැකියා ලබා දීම මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙනවා වගේ ම, මේ දරුවන්ගේ රැකියා ලබා දීම ඉතා ම බරපතළ බලගතු ගැටලුවක්. ඒක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන ගුරුවරුන් හැටියට සහ අධ්‍යාපන සේවයේ ඉන්න අය හැටියට ඔබ අප හැමගේ ම විශාල වගකීමක් බව කියන්න ඕනෙ. මොකද තවත් තරුණ කැරැල්ලකට මේ රට සූදානම් නැහැ. අපට ඒක දරා ගන්න බැහැ.
සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන වැදගත් කාරණයක් තමයි මේ රටේ ඔබ අප හැම අහලා තියෙනවා පාසල් වලට ගොඩනැගිලි. පාරවල්, විදුලිය, ජලය මේ හැම තමයි අපි බොහෝ දුරට ඉල්ලන්නේ භෞතික යටිතල පහසුකම්. අපේ අර අධ්‍යාපන ඇමතිතුමා පෙන්නුවා, මේ රටේ ඩිජිටල් යටිතල පහසුකම් කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ පාසල් ක්ෂේත්‍රයේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා පොදු ඩිජිටල් පහසුකමක් මුළු රටට ම වසර දෙකක් තුළ හඳුන්වා දෙන්න. Digital Public Infrastructure (DPI) අපි හඳුන්වා දෙන්න යනවා. ඒ මගින් මොකද වෙන්නේ? ඒ මගින් මූලධර්ම තුනක් අපි හඳුන්වා දෙන්න යනවා ඔබට.
පළවෙනි එක තමයි මේ රටේ සෑම පුරවැසියෙකුට ම අනන්‍ය කේත අංකයක් ලැබෙනවා. තමන්ට ඔබේ අනන්‍යතාව සඳහන් වෙන දේවල් හැඳුනුම්පත, රියදුරු ලයිසම, වාහන බලපත්‍රය, පාස්පෝට් එක, ගෙදර ඔප්පුව, බැංකු ගිණුම මේ යන ආදී වශයෙන් ඔබට තියෙන සියලු ම අනන්‍ය දර්ශක එක තනි අංකයකට ගැට ගැහෙනවා. ඒ ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය.
ඒ අනුව ඔබ වාහනයක් ගන්න ගියත් ඔබ ඔප්පුවක් ගන්න ගියත්, රජයේ කාර්යාලයකට ගිහිල්ලා වෙන කටයුත්තක් කරන්න ගියත්, බැංකු ගිණුමක් ගන්න ගියත් ඔබ ඒ අනන්‍යතාවෙන් බැඳෙනවා. ඒ වගේ ම එම අනන්‍යතාව ඔබගේ ජංගම දුරකථනයට, ඔබගේ මොබයිල් ෆෝන් එකට ලැබෙනවා. දැනට මේ ෆෝන් එකෙන් අපි කතා කරනවා, වට්ස්ඇප් බලනවා, යූ ටියුබ් බලනවා, ටික්ටොක් කරනවා, ඉන්ටර්නෙට් යනවා නේද? මේවට අමතරව ඔබගේ රියදුරු බලපත්‍රය, ඔබගේ හැඳුනුම්පත, ඔබගේ බැංකු ගිණුම මේ සියල්ල ම ඔබගේ ජංගම දුරකථනයට වසර දෙකක් ඇතුළත ලැබෙනවා. ඒක ඔබගේ සමහර විට ඔබට අධ්‍යාපන සේවයේ අදාළ අනන්‍යතා වන් තියෙනවා නම් ඒකත්.
ඒ එක්ක ම ඩිජිටල් පසුම්බියක් (Digital Wallet) ඔබගේ ජංගම දුරකථනයට ඇතුළු වෙනවා ඔබේ බැංකු ගිණුම හරහා. ඒ අනුව සියලු ම ගනුදෙනු කිරීමේ හැකියාව ඔබට මේ මගින් කළ හැකියි. දැනටමත් අපිත් කරනවා. අපි ගාවත් තියෙනවා. Google Pay, IPay තියෙනවා. Lanka Pay තියෙනවා. නොයෙක් දේවල් අපි කර ගෙන යනවා. QR කේතයෙන් කටයුතු කරනවා. නමුත් සියලු දෙනාට ම මේ සියලු ම ආකාරයේ දේවල් එක ජංගම වේදිකාවකට, එක විද්‍යුත් වේදිකාවකට ගෙන එන්න අපි උත්සහ කරනවා.
මේ මගින් මොකද වෙන්නේ? කාසි, කොළ භාවිතය නතර වෙනවා. ඔබේ පඩි පත එන්නේ මෙතන. ඔබ වියදම් කරන්නේ මේකෙන්. අද ඉන්දියාවේ බුලත් විට කඩේක ඉඳන් වාහනයක් මිල දී ගැනීම දක්වා සියලු දේ මේ ජංගම දුරකථනයෙන් කරන්න පුළුවන්. 2016 දි ඔවුන් ඇති කළේ. ඒ විදිහට තමයි ඔවුන් අද වෙන කොට ඒ වර්ධනය අත්පත් කර ගෙන තියෙන්නේ. අපට වඩා නූගත්, අපට වඩා දුප්පත් ඉන්දියාවක්. මේ තුළින් ඇති වන අනිත් දේ තමයි, රට තුළ දැනට සංසරණය වෙන එහෙත් කිසිම තැනක හඳුනා ගෙන නැති, විශාල ධන සම්භාරයක් තියෙනවා. ඒ ධන සම්භාරය අපි ට හඳුනා ගන්න ලැබෙනවා. ඒ හරහා, රටේ ආදායම දෙගුණ වෙනවා. සමහර අය අහනවා, සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන වැටුප් වැඩි කරන්න, ගුරුවරුන්ට අර තුනෙන් එකයි දුන්නේ. ඉතුරු තුනෙන් දෙක දෙන්න. එහෙමත් නැත්නම් දුගියන් ට රු. 20,000 දෙන්න කොහෙන් ද සල්ලි ගෙවන්නේ? මේ ක්‍රමයට මෙතෙක් සඟවා ගෙන තිබෙන ධනයක් කරළියට ඇවිල්ලා ඒ ධනය ඔබට ලබා ගැනීමේ හැකියාව රටට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.
තුන් වෙනි එක අපි සියලු ම ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල් වේදිකාවකට ගන්නවා. ඒ අනුව ඔබට දැන ගන්න පුළුවන් ලංකාවට පෙත්තක් කීයට ද ගෙනාවේ? කීයට ද විකුණන්න පුළුවන්? ඒ අනුව ඔබට දැන ගන්න පුළුවන් පෙට්‍රල් ලීටරයක් කීයට ද ගෙනාවේ? කීයට ද විකුණන්නේ කියලා. අර්තාපල් කිලෝවක් කීයට ද ගෙනාවේ විකුණන්නේ කියලා. යූරියා පොහොර කිලෝග්‍රෑම් එකක් කීයට ද ගෙනාවේ? කීයට ද විකුණන්නේ? ඔබේ අතට වෙළඳපොළ පාලනය අපි ලබා දෙනවා. එය එවැනි ක්‍රියාවලියක් හරහා මුළු රටේ ම ඩිජිටල් පද්ධතිය, පොදු වේදිකාවකට ගැනීමේ අරමුණකට අපි ගමන් කරමින් ඉන්නවා.
ඊට සමාන්තරව පාසල් පද්ධතියක් පාසල්වල ක්‍රියාකාරීත්වයත්, පාසල්වල ඇගයීම් ක්‍රියාවලියකුත් හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සියලු ම ඇමතිවරුන්ට කාර්ය සාධන ඉලක්ක ලබා දීලා, ඒ කාර්ය සාධන ඉලක්ක වෙනම ඒකකයක් මගින් ඇගයීමට ලක් කරලා ඒක සියලු දෙනාට, ගුරුවරුන්ට දැන ගන්න විතරක් නෙමෙයි. දෙමාපියන්ටත් අධ්‍යාපන ඇමතිගේ ප්‍රගති වාර්තාව ලැබෙනවා. ඒ කියන්නේ, දැන් අපේ ප්‍රගති වාර්තාව, දෙමව්පියෝ හැටියට අපි ඔබලාට සකස් කරලා අපි ට එවන්නේ. සියලු ම මැති ඇමතිවරුන්ගේ ප්‍රගති වාර්තාව ප්‍රසිද්ධියට පත් වෙනවා. ඉතින් අන්න එවැනි දියුණු අනාගත රටක් පිළිබඳ ක්‍රියාකාරීත්වයක් අපි මේ මැතිවරණය තුළ ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටට, ජනතාවට මතවාද හදන්නන් හැටියට ඔබ සියලු දෙනා ම මේ නිදහස් අධ්‍යාපනයෙන් මතු වෙච්ච පිරිස් හැටියට, ඔබ සියලු දෙනා ම ඒ කාර්යභාරය, තමන්ගේ වග වීම, වගකීම අනාගතයට ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.”
Lanka Newsweek © 2024