Monday 14th of October 2024

English Tamil
Advertiesment


 ජනාධිපති කාර්ය සාධක බළකා දිස්ත්‍රික්ක 25ටම 


2024-09-17 7208

 

රනිල් – අනුර මොන ඩීල් දැම්මත් මගේ ගනුදෙනුව ජනතාව සමගයි

 

නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා

 

නව ව්‍යවසායකින් දස ලක්ෂයක් බිහි කරනවා

 

දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායන් පිහිටුවා සියලුම කටයුතු ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරමින් ජනතාව සුඛිත මුදිත කරවන යුගයක් ඇති කරන බව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බණ්ඩාරවෙල දී පැවසීය.


2024 ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් බණ්ඩාරවෙල දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

රටේ ජනතාවට පැහැදිලි තීන්දුවක් ගන්න අවස්ථාවක් ලැබිල තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සන්ධානයට රට භාර දෙනවාද. එසේ නොමැති නම් රට ගොඩනගන රට දිනවන ගමන සඳහා දුරකථනය ජයග්‍රහණය කරවනවා ද කියන තීන්දුව අද ජනතාව ඉදිරියේ තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක දේශපාලන ගනුදෙනුවක සිටින්නේ. ඒ ගනුදෙනුව තමයි සජිත් ප්‍රේමදාස පරාජය කරන ගනුදෙනුව. රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක මොන මොන දේශපාල ගනුදෙනුවල නිරත වුණත් මගේ ගනුදෙනුව තිබෙන්නේ රටේ ලක්ෂ 220 ක් ජනතාව සමඟයි. මගේ ගනුදෙනුව මේ රටේ ජනතාව සෞභාග්‍ය සම්පන්න කිරීමයි.

රටේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා තිබෙන නිදහස් අධ්‍යාපනය අපි ශක්තිමත් කරන්න කටයුතු කරනවා. ඒ වගේම නිදහස් නිවහල් අධ්‍යාපන වැටසටහන යටතේ පෙර පාසල් ගුරුවරියන් රැකගෙන ඔවුන්ට නිසි වැටුපක් ලබාදීලා රටේ නොමිලේ අධ්‍යාපනය ලබාදීම අපි ආරම්භ කරන්නේ පෙර පාසලින්.

බදුල්ල දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මැතිවරණයක් ළඟ එද්දි වතු ජනතාවගේ වැටුප වැඩි කරන බව ඇතැම් දේශපාලන නායකයන් ප්‍රකාශ කරනවා. වතු ප්‍රජාව සහ රැකියා විරහිත තරුණ ප්‍රජාව කුඩා වතුවතු හිමියන් බවත්

පත් කරන්න අපේ රජයක් තුළින් කටයුතු කරනවා. තේ වගාවේ සහ අනෙකුත් ගොවිතැන් කටයුතුවල නිරත වන රටේ ජනතාවට කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට ලබා දෙනවා. ඒ වගේම ගොවීන්ගේ වගාවට ස්ථාවර මිලක් ලබාදීලා,

 
ශීතාගාර, හරිතාගාර පහසුකම් ලබාදීලා සුහුරු කෘෂිකර්මාන්තයට අපි ගොවීන්ව යොමු කරන්න කටයුතු කරනවා.

 

බදුලු දිස්ත්‍රික්කයේ සිටින මල් වගාකරුවන්ට අපි ශක්තිය ලබාදෙනවා. අනිවාර්යෙන්ම බදුලු දිස්ත්‍රික්කයට නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරලා රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ කර්මාන්තශාල බිහිකරන කර්මාන්ත යුගය අපි බිහිකරනවා. නව ව්‍යවසායකින් දස ලක්ෂයක් බිහි කරන්න අපි කටයුතු කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන සහ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවන්න කටයුතු කරලා නිපුණතා සංවර්ධනය තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා දැනුම ලබාදී තරුණයන්ගේ නිපුණතා සංවර්ධනයට සහ කුසලතා සංවර්ධනයට අපි මුල් තැන ලබා දෙන්න කටයුතු කරනවා.

ගෘහයේ සිටින කාන්තාවන්ට, රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදනයට දායකත්වය ලබා දීලා රටේ ආර්ථිකයට ශක්තිය ලබාදෙන කොටස්කරුවන් බවට පත් කරන්නට මේ රටේ සියයට 52 ක් වන කාන්තාවන්ට ශක්තිය ලබාදෙනවා. මව්වරුන් වෙනුවෙන්, ළදරුවන් වෙනුවෙන් ජාතික පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. පාසල් ළමුන්ට දිවා ආහාරයත් ලබාදීමට අපි කටයුතු කරනවා. අපි මුළු බදුලු දිස්ත්‍රික්කයම නව සංවර්ධිත යුගයක් කරා ගෙන යන්න කටයුතු කරනවා.

අපි ගම් හදා නගර හදා රට හදන ව්‍යාපෘතියට ශක්තිය දෙනවා වගේම පරිපාලන දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායන් පිහිටුවලා සියලුම කටයුතු ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකරනවා. රටේ ජනතාවගේ සුඛිත මුදිත කරවන යුගය ඇති කරන්න සමගි ජන සන්ධාන රජයක් තුළින් කටයුතු කරනවා.

 
එහිදී අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මහතා,

 

බදුල්ල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂ එක හමාරකටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරන්න අපි සූදානම්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා සමඟ සිටින බලවේගයට ජාති ආගම් කුල භේද නෑ. මුළු රටම අද එකතුවෙලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාව රටේ ජනාධිපති කරන්න. කවුරු මොන කතා කීවත්, සමාජ මාධ්‍යවල මොන මොන කතා පැතිරුණත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය නියතයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ඉවසා ගැනීමට නොහැකිව එක එක දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා.

රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ දීගය දැන් අවසානයි. දැන් රනිල් වික්‍රමසිංහ අලුත් දීගය කන්නේ අනුර දිසානායක සමඟයි. අලුත්ම දේශපාලන කුමන්ත්‍රණය රනිල් වික්‍රමසිංහ දියත් කරන්නේ අනුර දිසානායක සමඟ එකතු වෙලා. ඒ වගේ ජනතා විමුක්ති පෙරමුණේ භිෂණකාරී වැඩපිළිවෙළ දැන් එළියට එමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව කියන බැටලුහම පොරවාගෙන සිටියාට යටින් ප්‍රචණ්ඩත්වය එළි දක්වමින් සිටිනවා. මොවුන් රට තුළ විවිධ ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වළක්වන්න.

 
එහිදී අදහස් දැක්වූ චමින්ද විජේසිරි මහතා

 

‘2024 රැලිවලින්, සමාජ මාධ්‍යවලින් කයියනායකලා ජනාධිපති වුණාට රටේ ජනතාවගේ ආශිර්වදෙයන් සැප්තැම්බර් 22 වැනිදා රටේ ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා. යහපාලන ආණ්ඩුව පැවැති සමයේ සංස්කෘතික අරමුදලින් රටේ පන්සල්, පල්ලි, කෝවිල් හදන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළා. නමුත් අනුර දිසානායක කියන හොර ෆයිල් හදන, හොරු සමඟ ගනුදෙනු කරන පුද්ගලයා රනිල් වික්‍රමසිංහගේ කීමට ෆයිල් එකක් හැදුවා. ඒ ෆයිල්වලින් තමයි අනුරගේ හෙළුව හෙළි වුණේ. අනුර කුමාර හොරුන්ගේ ෆයිල් කියලා ෆයිල් වගයක් රටට පෙන්නලා ඒ හොරුන්ගෙන් මුදල් ගන්නා විලි ලැජ්ජාව නැති දේශපාලන නායකයෙක්.

අනුර දිසානායක මලික් සමරවික්‍රමගේ හොරකම් තියෙනවා කියන ෆයිල් එකක් හැදුවා. ඒකෙන් මලික් සමරවික්‍රම කරපු හොරකම් ගැන අනුර දිසානායක කිව්වා. නමුත් මලික් සමරවික්‍රම සමඟ අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී එකට කෑම කනවා දකිනකොට අනුර දිසානායක ගැන හිරිකිතයක් දැනෙනවා. ඒ නිසා රටේ ජනතාව රකින, වංචාව දූෂණය නැති, රට ගොඩනගන සජිත් ප්‍රේමදාස හැර වෙනත් විකල්පයක් රට තුළ නෑ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුණාට පස්සේ අපිට බණ්ඩාරවෙලට ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයක් අවශ්‍යයි. රටට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයට කෘෂි භෝග අපනයනය කරන්න පුළුවන් වෙළඳ මධ්‍යස්ථානයක් ඇති කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා.

සංචාරක පුරවරය දියුණු කරලා ලෝකයේ හොඳම සංචාරක පුරවරය බවට බදුල්ල දිස්ත්‍රික්කය පත් කරන්න ශක්තිය ලබාදෙන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වතු ප්‍රජාව කුඩා තේවතු හිමියන් කරන යුගය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ සුළු අපනයන භෝග වගා කරන ගොවීන්ට අගයක් එකතු කරලා දෙන්න කියලත් අපි සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා.’

 

එහිදී අදහස් දැක්වූ නයන වාසලතිලක මහතා-

 

මේ බදුල්ලට සංවර්ධනයක් ප්‍රේමදාස යුගයක් ඇති කරනවා නම් 21 තමයි දවස. අධිවේගී මාර්ගය අවුරුදු දෙකෙන් ගේනවා. හැම ආසනයකටම කර්මාන්තපුර ඇති කරනවා. මෙමගින්

රැකියා හැම ආසනයකටම ලැබෙනවා. ගම්උදාව නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා. මෙහේ සියයට පනහක් වතුකර ජනතාව. ඔබලා කිසිදේකට බය වෙන්න එපා. ඔබලා ගැන අපි බලා ගන්නවා.

 

 

Advertiesment