Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


අනුර කුමාර උතුරේ සහ  දකුණේ ජනතාවගෙන් වහා සමාව ගත යුතුයි


2024-09-09 12433

 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක උතුරට පැමිණ උතුරේ ජනතාවට කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. සිංහල ජනතාවගේ නම පාවිච්චි කරමින් උතුරට තර්ජනය කිරීම ගැන අනුර කුමාර දකුණෙන් ද සමාව ගත යුතු බව කී ජනාධිපතිවරයා අනුරගේ එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව ද අවධාරණය කළේය. ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රසිංහ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් යාපනය උඩුප්පිට්ටි සහ වඩුක්කෝඩෙයි පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලි සෙනසුරාදා (07) අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේය.

එළැඹෙන ජනපතිවරණයේදී දකුණේ මතය මාලිමාවට බවත් උතුරේ ජනතාවත් එම මතය නොදැරුවහොත් දකුණේ මතයට හවුල් නොවුණහොත් උතුරේ ජනතාව වෙනසට විරුද්ධ වූවන් ලෙස දකුණේ ජනතාව විසින් සිතනු ඇතැයි අනුර දිසානායක යාපනයට පැමිණ කියා තිබෙන බව කී ජනාධිපතිවරයා එය යාපනයට මෙන්ම උතුරට ද කළ තර්ජනයක් බව සඳහන් කළේය. අනුර මෙම ජනපතිවරණයෙන් ජයග්‍රහණය නොකරන බව කී ජනාධිපතිවරයා තර්ජන කිරීම් ගැන උතුරේ මෙන්ම දකුණේ ජනතාවගෙන් සමාව ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ වාඩි වෙන්නැයි ද ඉල්ලා සිටින බවකියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

“අපේ සැලැස්ම ඉදිරිපත් කර ඔබේ වටිනා ඡන්දය ඉල්ලන්න අප පැමිණ තිබෙනවා. අනුර දිසානායකත් ඇවිත් ඔබේ ඡන්දය ඉල්ලුවා. එයා මෙහේ ඇවිත් කිව්වේ මොකක්ද? “දකුණේ වෙනසක් සඳහා ජනතාව පෙළ ගැසී සිටියදී ඊට එරෙහි වුවහොත් කුමන මනෝභාවයක් දකුණේ ජනතාවට ඇතිවේදැයි සිතන්නැයි අනුර කිව්වා. ඒ වෙනසට විරුද්ධ වූවන් ලෙස යාපනය හඳුන්වනවාට ඔබ කැමැතිදැයි අනුර දිසානායක ප්‍රශ්න කළා.

මා ඔබට නැවත සහතික කරන්නම්, අප ජයග්‍රහණය කරනවා. හැබැයි ජයග්‍රහණයේ පංගුකරුවන් බවට ඔබ පත්වෙන්න ඕන. ඊට එරෙහිවූවන් වන්න එපා” යැයි අනුර දිසානායක කිව්වා. ඒ කියන්නේ අනුර දිසානායක ජනතාවට තර්ජනය කරනවා. මට ඡන්දය දුන්නේ නැත්නම් බලාගන්නම් කියනවා. ඒ තර්ජනය මා හෙළා දකිනවා. අප 2010 ජනාධිපතිවරණයට මෙහේ ආවා. අප එහිදී ෆොන්සේකාට ඡන්දෙ දෙන්න කියා මෙහි ජනතාවට කිව්වා. මෙහේ ජනතාව ෆොන්සේකාට ඡන්දය දුන්නා. දකුණේ අය මහින්දට දුන්නා. මහින්ද දිනුවා. නමුත් ඔවුන් මෙහෙ අයට ගැහුවා ද? මුකුත් සිදු වුණේ නැහැ. අන්තිමට ඩග්ලස් දේවානන්දාට  ඇමැතිවරයකු වීමටත් සිදු වුණා.

2015 සිදුවුණේ මොකක්ද? අපි ඔක්කොම මෛත්‍රීපාල සිරිසේනට ඡන්දෙ දෙන්න කියා කිව්වා. දකුණේ ජනතාව මහින්ද රාජපක්ෂට ඡන්ද දුන්නා. ඒ අවස්ථාවේ අප දිනුවා. මුකුත් වුණේ නැහැ. 2019දී වුණේ මොකක්ද? යාපනයේ අය සජිත්ට දුන්නා. සිංහල මිනිස්සු ගෝඨාභයට දුන්නා. නමුත් ගෝඨාභය හමුදාව අරගෙන මෙහාට ආවේ නැහැ. හැම වෙලාවෙම ඒ ප්‍රතිඵලය අප පිළි අරගෙන තිබෙනවා. ඒ තත්ත්වය යටතේ අනුර දිසානායක ඇවිත් තර්ජනය කරන්නේ කොහොමද?

අනුර දිසානායක ඔබ බය කරන්න හදනවා. උතුරේ මෙන්ම දකුණේ මිනිස්සු බය කරන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණේ ‘ස්ටයිල්’ එක එයයි. ඒ කාලේ චිට් කෑල්ලක් ලබා දී ජනතාව බය කළා. නැවත ඒ යුගයට යන්න උත්සාහ කරනවා. වහාම උතුරේ ජනතාවගෙන්, යාපනයේ ජනතාවගෙන් සමාව ඉල්ලන ලෙස මගේ මිත්‍ර අනුර දිසානායකට මම කියනවා.සිංහල මිනිස්සුන්ගේ නම භාවිත කර බය කරපු නිසා සිංහල ජනතාවගෙන් ද සමාව ඉල්ලන්න අවශ්‍ය බව ඉන් පසුව ගිහින් විපක්ෂයේ වාඩි වෙන්නැවෙන ලෙස එහෙම නැතිනම්  තවත් ඔහුට යාපනයට එන්න බැරිවේවි.මෙහෙම ජනතාවට තර්ජන දාන්න එපා. අප මේ සැරේ බය වෙන්නෙත් නෑ. තර්ජනවලට ඉඩ දෙන්නෙත් නැහැ.

සජිත් ගැන කතා කර වැඩක් නැහැ. සජිත් විපක්ෂ නායක ලෙස වැඩේ කළා නම් අනුර නැඟලා එන්නේ නැහැ. ඔවුන්ට ඡන්දය දී ඡන්දය නාස්ති කරන්න එපා. අප කළ යුත්තේ මේ රට දියුණු කර ඉදිරියට යෑමයි. ජනාධිපතිවරණයක් තියන්න පුළුවන් වේ යැයි වසර දෙකකට පෙර කිසිවකුත් පිළිගත්තේ නැහැ. ගෑස් පෝලිම්, බෙහෙත් පෝලිම් තිබුණා. ඡන්ද ගැන හිතන්න වෙලාවක් තිබුණේ නැහැ.

ලොකුම ප්‍රශ්නය වෙලා තිබුණේ තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙවීමයි. මම ජනාධිපති ධුරය භාර ගත්තේ එවැනි ස්ථාවර බවක් ඇතිකර වසර දෙකක් ගතවීමට පෙර ජනාධිපතිවරණය පවත්වන්නයි. මම රටේ ස්ථාවර බව ඇති කර තිබෙනවා. ආර්ථිකය හදාගෙන යනවා. දැන් තියෙන්නේ මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්නයි. අනාගත සංකල්පය වන්නේ පුළුවන් ශ්‍රී ලංකා යන්නයි. අද මා සමඟ තරග කරන අනෙක් තිස් අට දෙනාම, විශේෂයෙන් සජිත් – අනුර මේ වගකීම භාරගන්න හිටියේ නැහැ. දෙන්නම පැනලා ගියා.

මාත් පැනලා ගියා නම් මේ ඡන්දය තියන්න පුළුවන් ද? හරි නම් සජිත් සහ අනුර මැතිවරණ වේදිකාවේ කතා පවත්වන්න කලින් මට ස්තුති කළ යුතුයි. මට අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ බලාපොරොත්තුව ආරක්ෂා කර ගැනීම සඳහා මා මෙවර ඡන්දයට ඉදිරිපත් වුණා.

ඒ ගත් අමාරු තීරණ අතර මට මූල්‍ය අරමුදලට යන්න තිබුණා. ඒ කාලයේදී අපේ ණය බර වැඩිවී තිබුණා. ආර්ථිකයට දරාගන්න බැරි ණය බරක් එකතු වී තිබුණා. ඒ කාලේ ජීවත් වූ හැටි මතක ද? තුන්වේලක් තියා දෙවේලක්වත් කන්න අමාරු වුණා. අමාරුවෙන් ජීවිතය ගෙන ගියා. එහෙත් දැන් ආර්ථිකය නැවත ශක්තිමත් කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. සේවකයන්ට පඩි වැඩි කරගෙන යනවා.

2024දී රාජ්‍ය සේවකයන් සඳහා 5000ක දීමනාවකුත් ඉන්පසුව 10,000කුත් දෙන්න පුළුවන් වුණා.සමෘද්ධිය වෙනුවට අප අස්වැසුම ලබා දී තිබෙනවා. එයින් අස්වැසුම වගේ තුන් ගුණයක් ලැබෙනවා. ලක්ෂ 24කට අස්වැසුම ලබාදෙන්නට තිබෙනවා. ඒ අයුරින් අප සහනාධාර දී තිබෙනවා.

අප විශ්‍රාම වැටුප වැඩි කළා. ආබාධිතයන්ගේ විශ්‍රාම වැටුප වැඩි කළා. හැම අතින්ම ආධාර වැඩි කර තිබෙනවා. ඒ තුළින් ආර්ථිකය ශක්තිමත් කරගන්න හැකි වුණා. ඒ වගේම බඩු මිලත් අඩුවී තිබෙනවා. සියයට 10-40 අතර ගණනකින් බඩු මිල අඩු‍ වෙන්නට තියෙනවා. තව ඉදිරියටත් අපට සහන දෙන්න තිබෙනවා. තවමත් ජීවන බර වැඩියි. ජීවන බර වැඩි වූ නිසා රුපියල ශක්තිමත් කර ජීවන වියදමට සහනයක් දෙන්න අප බලාපොරොත්තු වෙනවා. 2025 අවුරුද්ද ඇතුළත අප එය කරනවා. රුපියල ශක්තිමත් වීමත් සමඟ ඔබට ඒ සහන ලබා දෙන්න අපට හැකියාව තිබෙනවා.

ජීවන වියදම වැඩි වීමේ දුක වැඩියෙන්ම දන්නේ අපේ කාන්තාවන්. ගෙදර අය-වැය බලාගන්නේ ඔබයි. ඔබලා අමාරුවෙන් ගෙදර පාලනය කළා. කවුරුවත් ලේසියෙන් ගෙදර පාලනය කරන්නෙ නැතුව ඇති. එන අවුරුද්දේ මීටත් වඩා සහන දෙන බව කිව යුතුයි. අප කාන්තාවන් අමතක කර නැහැ. මේ රටේ බහුතරය වන්නේ කාන්තාවන්. ඒ නිසා අප කාන්තාවන් වෙනුවෙන් වෙනම මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබෙනවා. එය මගේ වෙබ් අඩවියේ මෙන්ම වට්ස්ඇප් මඟින් ද ලබාගන්න පුළුවන්. මේ වසරේදී අප කාන්තාවන් සවිබලගැන්වීමේ පනත සම්මත කරනවා. කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අප එය ඉදිරිපත් කරනවා. ඔබට නීතියෙන් මේ අයිතිවාසිකම් ගන්න පුළුවන්. එමෙන්ම කාන්තා හිංසන නතර කළ යුතුයි.

කාන්තාවක් කියා කිසිවකුත් කොන් කරන්න බැහැ. මෙරට පොලිස් ස්ථාන 604ක් තිබෙනවා. මේ හැම එකේම කාන්තා හා ළමා හිංසන සොයා බැලීමට ආයතනයක් තිබෙනවා. ඒ සඳහා අප නිලධාරීන් පුහුණු කරනවා. කාන්තා හා ළමා හිංසනයට විරුද්ධව කටයුතු කිරීම එහි අරමුණයි.

ඔබට අයුක්තියක් වේ නම් ගිහින් ඒ ගැන පැමිණිලි කරන්න පුළුවන්. යුක්තිය වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය පාලනය කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍යයන්ට විරුද්ධ ඒකාබද්ධ මූලස්ථානය යනුවෙන් තවත් නීතියක් සම්මත කරනවා. ප්‍රාදේශීය සභා, පළාත් සභා, ජන සභාවල කාන්තා නියෝජනය වැඩි කරනවා.

අප ගෘහස්ථ හිංසනය මැඬපැවැත්වීම සඳහාත් වැඩ කටයුතු කරනවා. ඒ සඳහා නීති ආධාර ලබාදීමට මෙන්ම කාන්තාවන්ට උපදේශන සේවා ලබාදීමට හැම මැතිවරණ කොට්ඨාසයකම කාන්තා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා.

එමෙන්ම අප දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඇති කරනවා. ඒ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. ස්ත්‍රී පුරුෂ ලිංගික සමානාත්මතාව පදනම් කරගෙන අප වැඩකටයුතු කරනවා. අප මෙවැනි වැඩසටහන් තවත් ක්‍රියාත්මක කරනවා.

‘පුළුවන් ශ්‍රී ලංකා’ සැලැස්ම යටතේ අප ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යනවා. මට පරමාර්ථ පහක් තිබෙනවා. ජීවන බර තවත් සැහැල්ලු කිරීම, රැකියා බිහි කිරීම, බදු බර සැහැල්ලු කිරීම මෙන්ම අපනයන ආර්ථිකයක් ඇති කිරීම, උරුමය සහ අස්වැසුම ආරක්ෂා කිරීම එම වැඩසටහනයි. උරුමය නිසා පළමු වතාවට උතුරේ ජනතාවටත් ඉඩම් අයිතිය ලැබෙනවා. ලංකාවේ හැමදෙනාටම මේ අයිතිවාසිකම ලබා දෙනවා. යාපනයේ මෙන්ම රටේ සියලු දෙනාටම අප සින්නක්කර ඔප්පු ලබාදෙනවා. එන වසර වන විට අප තවත් ජීවන බර සැහැල්ලු කරනවා. රුපියල ශක්තිමත් කරන විට බඩු මිල මෙන්ම ඔබේ ජීවන බර අඩුවෙනවා.

රුපියල ශක්තිමත් වන්නේ ආර්ථිකය වර්ධනය වන නිසයි නිෂ්පාදනය වැඩිවෙන නිසයි. නිෂ්පාදනය වැඩිවීමත් සමඟ අපට බදු දැල තවත් පුළුල් කරන්න හැකි වෙනවා. නවීන කෘෂිකර්මාන්තය යෙදවීමට අප අදහස් කරනවා. එමෙන්ම ලංකාවට හොඳම කෘෂි තාක්ෂණය ගෙන ඒමට අප කටයුතු කරනවා. අප වී වගා ක්ෂේත්‍රය දියුණු කරනවා. ප්‍රධාන කෘෂිකර්ම පළාතක් ලෙස උතුර හඳුනා ගන්නවා. එමෙන්ම ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. ආයෝජන කලාප ඇති කරනවා.

යාපනයට ගංගාවක් නමැති වැඩසටහන අප ක්‍රියාත්මක කරනවා. එමෙන්ම ඩිජිටල් මධ්‍යස්ථාන ඇතිකරනවා. මෙය මහ ආණ්ඩුවට තනිව කරන්න බැහැ. පළාත් සභා නවයට ඒ අයගේ බලතල මෙන්ම සංවර්ධන බලතල ලබාදෙනවා. එවිට ඔවුන්ට වැඩ කළ හැකියි. ඒ සඳහා විශේෂ ආයතන ඇති කරනවා. පළාත් සංවර්ධන මණ්ඩලය ලෙස එය හඳුන්වනවා.”

 

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා,

 

“අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වැඩ කොටසක් කළ හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු තමයි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. එතුමා 1985දී අපේ රටේ අධ්‍යාපන ඇමැතිවරයා වුණා. එතුමා එදා ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කළා. අධ්‍යාපන විද්‍යා පීඨ ආරම්භ කළා. විදුහල්පති පරිපාලන සේවය ආරම්භ කළා. ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුම පුළුල් කළා.

අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව ගැන විපක්ෂය කතා කරනවා. අධ්‍යාපනයේ අඩුපාඩු, දුර්වලතා කතා කරනවා. ඔවුන් කතාකරනවා විතරයි වැඩක් කරන්නේ නෑ.

ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉල්ලා උද්ඝෝෂණය කරනවා. වැටුප් ඉල්ලා උද්ඝෝෂණය කරන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාගේ නියමයෙන් අපි ගුරු, විදුහල්පතිවරු වැටුප් විෂමතා අවසන් කිරීමට දැනටමත් වැඩපිළිවෙළක් යෝජනා කරලා තියෙන්නේ. ඒ වැටුප් විෂමතා දුරු කිරීමේ වැඩපිළිවෙළ යටතේ එන අවුරුද්දේ ජනවාරි මාසයේ සිට සෑම ගුරුවරයකුටම, සෑම ගුරු අභ්‍යාසලාභියකුටම, සෑම විදුහල්පතිවරයකුටම වැටුප් වැඩි වෙනවා. ජනාධිපතිතුමා ඇමැති මණ්ඩලයට ඒ යෝජනා ගෙනත් තිබෙනවා. වැය කිරීමට අවශ්‍ය මුදල් හොයාගෙන තිබෙනවා. ඉදිරියේදී ඒවා විසඳනවා.

අපි අධ්‍යාපනය නවීකරණය කරනවා. ගුරු පුරප්පාඩුවලින් තොරව භෞතික සම්පත්වලින් සපිරි පාසල් ඇති කරනවා. විපක්ෂයේ කාටවත් අධ්‍යාපනය සම්බන්ධයෙන් දිගු දැක්මක් නැහැ. ඒ සඳහා තිර දැක්මක් තිබෙන්නේ අපට පමණයි.

විපක්ෂයේ අය වැටුප් ඉල්ලා උද්ඝෝෂණය කරනවා. පාසල්වල උගන්වන්නේ නැහැ. දකුණේ එහෙම කරනවා. නමුත් උතුරේ එසේ කරන්නේ නැහැ. ඒක දකුණට ආදර්ශයක්. ඔබ විපක්ෂයේ බොරු කතාවලට රැවටෙන්න එපා. සජිත් හෝ අනුරට හෝ ඡන්දය දීමෙන් වැඩක් නැහැ. වටිනා ඡන්දය නාස්ති කරන්න එපා. ගැස් සිලින්ඩරයට ඡන්දය දී ලබාගෙන ඇති ජයග්‍රහණය තවත් වැඩි කරගන්න.”

 

වරාය හා ගුවන් සේවා ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා,

 

“මට මේ යාපනයේ ජනතාව ඇමතීමට ලැබීම භාග්‍යයක්. මම 1996 ජූලි මාසේ මෙහි ආවා. ඒ එවකට නිවාස හා මහජන උපයෝගිතා ඇමැතිවරයා ලෙසයි. යාපනය ස්ටැන්ලි පාරේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ ශාඛාවක් විවෘත කිරීමටයි මං ආවේ.

එදා බෝම්බයක් පිපිරීමෙන් 26 දෙනකු මිය ගියා. මගේ වම් කනෙන් ඇතුළු වූ මූනිස්සම් කෑල්ලක් තාම දකුණු කන ළඟ තිබෙනවා. මට බෝම්බ ගැහුවට උතුරේ ජනතාව කෙරෙහි මාගේ අහිතක් නැහැ, වෛරයක්, ක්‍රෝධයක් නැහැ. මගේ ජීවිතය බේරා දුන්නට දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. අපි එදා මෙහි ආවේ ජනතාවට සේවය කිරීමටයි. අදත් එහෙමයි. උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත්, විශේෂයෙන් මාගේ බදුල්ලේ ජනතාවත්, සේවා අපේක්ෂාවෙන් සිටින පිරිසක්. ඔවුන් දෙගොල්ලෝම අහිංසකයි. ඔවුන්ට සේවය කිරීමටයි අප කැප වෙන්නේ.

 

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා,

 

“අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අය. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට එකඟ වුණේ එක හේතුවක් නිසා. එතුමා මේ රට ආර්ථික වශයෙන් කඩා වැටුණු අවස්ථාවේ ඉන් බේරා ගැනීමට ඉදිරිපත් වූ නායකයායි. විපක්ෂයේ සිටි සජිත්, අනුර එදා අභියෝගයා භාර නොගෙන මඟහැර ගියා. එදා උතුරේ ජනතාවත් දකුණේ ජනතාව වාගේම දුක්වින්දා. ඒ දුක නිව්වේ වත්මන් ජනපතිතුමයි.”

 
හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය,

 

“උතුරේ ජනතාවට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබෙනවා. ජලය විදුලිය, අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, තරුණ තරණියන්ට රැකියා ප්‍රශ්න, ප්‍රවාහන, කෘෂිකර්මාන්ත කර්මාන්ත ප්‍රශ්න තියෙනවා.

මේවාට විසඳුම් ලබා දිය හැකි වැඩපිළිවෙළක් තිබෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට‍යි. මේ අවස්ථාවේ ඡන්දය ලබා දිය යුත්තේ ඒ නිසයි.

එතුමාගේ ජයග්‍රහණයෙන් පසුව අපට සංවර්ධනය ළඟා කරන්න පුළුවන්. එතුමා අපට විශ්වාසයි. එතුමා වැඩක් කළ නායකයෙක්. පසුගිය අවුරුදු දෙකේදී රට මුහුණ දුන් ආර්ථික අභියෝගය ජයගත්තේ එතුමාගේ නායකත්වයෙන්. එතුමාට පමණයි ආර්ථිකය දියුණු කිරීමට දිගු දැක්මක් තිබෙන්නේ. ඒ දැක්ම දිනවීමට අප කටයුතු කරමු.”

 
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහත‍ා,

 

“අපේ රටේ ජාති ආගම් භේද, කුලභේද, දේශපාලන භේද කිසිවක් නැති වේදිකාවේ තමයි මේ අපි ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකයෙක්. එතුමාගේ ජයග්‍රහණය තුළින් පමණයි රටේ ජනතාවටත් රටටත් සෞභාග්‍යය යහපත උදාවන්නේ. එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද මුළු රටම සූදානම් වී සිටිනවා. උතුරේ ඔබත් සූදානම් බව මේ ජන රැලියෙන් පේනවා. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට පෙළගැසී සිටින ඔබ සැමට ඒ සඳහා ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.” යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් සහ වඩුක්කෝඩෙයි පැවති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලිවලට මහා සංඝරත්නය, හින්දු ඉස්ලාම් පූජක ප්‍රසාදීන් වහන්සේලා වැඩම කොට ආශීර්වාද පැවැත්වූහ. මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය සහ මහජනතාව විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 


 

Advertiesment