ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ඉරිදා [8] ලන්ඩනයේ ඕවල් පිටියේදී එංගලන්ත පිතිකරණ බළඇණිය විනාශ කර දමමින් දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කිරීමට සමත් වූහ.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම සඳහා ලකුණු 219ක ඉලක්කයක් හිමි වූ අතර, ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරන විට එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 94ක් රැස් කර තිබිණි.
ඒ අනුව කඩුලු 9ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල ජයග්‍රහණයට තවත් ලකුණු 125ක් පසුපසින් සිටින අතර, ඔවුන්ට ඒ සඳහා දින 2ක් ඉතිරිව තිබේ.
පැතුම් නිශ්ශංක පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඊයේ සිය ටෙස්ට් දිවියේ 6 වැනි අර්ධ ශතකය වාර්තා කළ නිශ්ශංක පන්දු 44කදී හතරේ පහර 7ක් එල්ල කර තිබූ අතර, මෙන්ඩිස් හතරේ පහර 6ක් එල්ල කළේ පන්දු 25කට මුහුණ දෙමිනි.
පළමු කඩුල්ලට ලෙස දිමුත් කරුණාරත්න ලකුණු 8කට දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත් වූයේ පෙරළා තමා වෙත ඇදී ආ උඩ පන්දුව රැක ගැනීමෙනි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු 2ක් රැස් කිරීමත් සමඟ දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 7000 සීමාව පසු කළ අතර, එම සීමාව පසු කළ සිව්වැනි ශ්‍රී ලාංකික පිතිකරු ලෙස ඔහු වර්තා අතරට එක්විය. ඔහුට පෙර කුමාර් සංගක්කාර (12400), මහේල ජයවර්ධන (11814) සහ ඇන්ජලෝ මැතිව්ස් (7734) එම සීමාව පසු කර තිබේ.
ඊයේ දිවා විවේකයට ඕවර කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවූ අතර, දිවා විවේකය වන විට යැවූ ඕවර 8 තුළදී එංගලන්ත පිලට කඩුලු 2ක් අහිමි කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
සවස තේ පානය වන විට තවත් කඩුලු 6ක් බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, ඉන් පසු ක්‍රියාත්මක කළ ඕවර 3දී එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා විය.
ශ්‍රී ලංකා පිලට අවශ්‍යම කඩුල්ල වන ජෝ රූට් ඊයේ ලකුණු 12කට දැවී ගිය අතර, එංගලන්ත මුල් කඩුලු 7 ලකුණු 82ක් තුළ බිඳ වැටිණි. අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි ජෙමී ස්මිත් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 50කින් ලකුණු 67ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟිනි. ඔහු මුළු ලකුණු 140දී දැවී ගිය අතර, ලකුණු 156කින් ඉනිම නිමා විය. මෙය එංගලන්ත පිල ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව විය. මින් පෙර 2007 වසරේ ගාල්ලේ දී ලකුණු 81කට හා 2003 වසරේ එස්එස්සී පිටියේදී ලකුණු 148කට එංගලන්තය දැවී ගොස් තිබිණි. පළමු ඉනිමෙන් එංගලන්තයට ලැබූ ලකුණු 62 වාසිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු 219ක ඉලක්කය හිමි විය.
පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 4ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් සහ මිලාන් රත්නායක කඩුල්ලක් දවා ගත්හ.
තෙවැනි දිනය වූ ඊයේ තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 211ක් රැස් කර තිබූ අතර, අවසන් පිතිකරුවෝ තවත් ලකුණු 52ක් ඉනිමට එක් කළහ. පැතුම් නිශ්ශංක ඉනිමට සාර්ථක ආරම්භයක් දෙමින් පන්දු 51කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 64ක් රැස් කළ අතර, ඔහු ද ඇතුළුව මුල් කඩුලු 5 ලකුණු 93ක් තුළ බිඳ දැමීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. දිමුත් කරුණාරත්න (9), කුසල් මෙන්ඩිස් (14), ඇන්ජලෝ මැතිව්ස් (3) සහ දිනේෂ් චන්දිමාල් (0) යළිත් නායක ධනංජය ද සිල්වාට සහ කමිඳු මෙන්ඩිස්ට ඉනිමේ බර දී වේලාසනින්ම දැවී ගිය අතර, ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ලට ලකුණු 127ක් එක් කරමින් ඉනිම ලකුණු 200 සීමාවෙන් එපිටට රැගෙන ගියහ. ධනංජය ලකුණු 69ක් සහ කමිඳු ලකුණු 64ක් ඉනිමට එක් කළහ. මේ තරගයේදී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ජොෂ් හුල් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඔලි ස්ටෝන් කඩුලු 3ක් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 2ක් දවා ගත්හ.
එංගලන්ත පළමු ඉනිමේදී අවසන් කඩුලු 6 ලකුණු 35ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ අතර, එක් අන්තයක් රැක ගනිමින් වේගවත් පිතිහරඹයක නිතර වූ නායක ඔලී පෝප් පන්දු 156කින් ලකුණු 154ක් රැස් කරමින් ඉනිම ලකුණු 325 දක්වා ඉදිරියට ගෙන ගියේය.
එංගලන්ත පළමු ඉනිම – 325 (ඕවර 69.1)
ඔලී පෝප් 154, බෙන් ඩකට් 86 (මිලාන් රත්නායක 56/3, ධනංජය ද සිල්වා 18/2, විශ්ව ප්‍රනාන්දු 46/2, ළහිරු කුමාර 97/2)
ශ්‍රී ලංකා පළමු ඉනිම
පැතුම් නිශ්ශංක ඇ.වෝක්ස් ප.හුල් 64
දිමුත් කරුණාරත්න දුවද්දි දැවී ගියා 9
කුසල් මෙන්ඩිස් ඇ.බෘෘක් ප.වෝක්ස් 14
ඇන්ජලෝ මැතිව්ස් ඇ.පෝප් ප.ස්ටෝන් 3
දිනේෂ් චන්දිමාල් ක.මු.ක. ප.ස්ටෝන් 0
ධනංජය ද සිල්වා ඇ.බෂීර් ප.හුල් 69
කමිඳු මෙන්ඩිස් ඇ.රූට් ප.වෝක්ස් 64
මිලාන් රත්නායක ඇ.ස්මිත් ප.ස්ටෝන් 7
විශ්ව ප්‍රනාන්දු ක.මු.ක. ප.හුල් 0
ළහිරු කුමාර නොදැවී 5
අසිත ප්‍රනාන්දු ඇ.ස්මිත් ප.බෂීර් 11
අතිරේක 17
Lanka Newsweek © 2024