Sunday 13th of October 2024

English Tamil
Advertiesment


 අත්හදා බැලීම් වලට රට ගොදුරු නොකරමු


2024-09-06 5012

මෙරට පුළුල්ම දේශ­පා­ලන සන්ධා­නය වන පොදු ජන එක්සත් නිද­හස් පෙර­මුණ බත්ත­ර­මුල්ල වෝටර්ස් එජ් හෝට­ල­යේදී බ්‍රහස්පතින්දා(05) එළි­දැ­ක්විණි. එම නව පක්ෂයේ ලාංඡ­නය වන කුස­ලා­නය ද මෙහිදී එළි­දැ­ක්වී­මෙන් අන­තු­රුව නව පක්ෂ­යට එක් වූ අනෙ­කුත් පක්ෂ නාය­ක­යන් ගිවි­සු­ම­කට අත්සන් තැබී­මෙන්  සිදු විය.හුදෙකලාවෙන් මිදී මිත්‍රත්වයෙන් ජාත්‍යන්තරය සමඟ කටයුතු කළ හැකි තත්ත්වයකට පත්ව තිබිය දී අන්තවාදී අත්හදා බැලීම්වලට රට ගොදුරු නොකරමු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී බ්‍රහස්පතින්ද (05) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා දේශපාලනයේ නව දිශානතියක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව “දිනන රටකට දිරිය එකතුව” තේමාවෙන් යුත් මෙරට පුළුල්ම දේශපාලන සන්ධානය වන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

නව පෙරමුණේ සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එහි මහ ලේකම් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එක්ව පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පක්ෂ ලාංඡනය වූ “කුසලානය” එළිදැක්වීමෙන් අනතුරුව නව සන්ධානය සමඟ එක් වූ අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් සමඟ ගිවිසුම් අත්සන් තැබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි ලේකම් තිස්ස යාපා ජයවර්ධන, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ටිරාන් අලස්, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, තමිල් මක්කල් විඩුදලෛ පුළිකල් පක්ෂය වෙනුවෙන් සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් ඒ. එල්. එම්. අතාවුල්ලා, එක්සත් ජනතා පක්ෂය වෙනුවෙන් අරවින්ද කුමාර්, ජාතික සමගි පෙරමුණ වෙනුවෙන් අසාත් සාලි, දේශප්‍රේමී ජනතා බලවේගය වෙනුවෙන් සුගත් හේවාවිතාරණ මහත්වරු නව දේශපාලන සන්ධානය සමඟ ගිවිසුම් අත්සන් කෙරිණි.

 
බ්‍රහස්පතින්දා(05) පැවති මේ උත්සවයේ දී එම නව පක්ෂයේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීවේය.

 

මෙය ඓතිහාසික අවස්ථාවක්. අභියෝගයන් මැද, රටට ජයග්‍රහණය උදා කිරීමට අඛණ්ඩව දායක වුණු ඔබ, යළිත් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අධිෂ්ඨානයෙන් කැප වී සිටිනවා. අපි ආණ්ඩු හා රාජ්‍ය නායකත්වයන් බිහිකළ උරුමයේ හවුල්කාරයෝ. මහා ජනවරමකින් අපේ ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අග්‍රාමාත්‍යතුමා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමාත් පත්කර, ඔවුන්ගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගත්තා. ප්‍රගතිශීලී ජාතික ව්‍යාපාරයට මේ රටේ ජනතාව දුන් ඒ අයෝමය විශ්වාසය ඉදිරියට ගෙන යන්නට පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි ඒ මහා වගකීම ඉටු කරමින් සිටි අවස්ථාවේ දී, ඇතිවුණු දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් අපේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් ඉල්ලා අස්වුණා. ඒ දේශපාලන හා ආර්ථික අර්බුදය අපේ රට සමාජ අස්ථාවර බවකට පරිවර්තනය කළා.

කොවිඩ් වසංගතයෙන් පස්සේ ලෝක ආර්ථිකය කඩා වැටුණා. අදත් එය යථා තත්ත්වයට පත්ව නැහැ. මේ තුළ ඇති වූ මහා අභියෝගයට නායකත්වය දෙන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 134 බහුතරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්කළා.

නිදහස් ලංකාවේ පියා ලෙස සලකන ඩී.එස්.සේනානායක මැතිතුමාගේ නායකත්වයේ සිට අද දක්වා තියෙන්නේ හවුල් ආණ්ඩු. ඒ නිසා හවුල් ආණ්ඩුවක් හා දේශපාලන ඒකාකාරීභාවයකින් කටයුතු කළ හැකි වන්නේ එකඟතාවකින්. ඒ එකඟතාව ඇති කරන්නට අපේ මන්ත්‍රීවරුන් හා අලුත් පෙරමුණ බිහිකිරීමේ කාර්යභාරයට හවුල් වී සිටින සියලු මන්ත්‍රීවරු එකතු වුණා. හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවල නායකයන් ඇතුළු අපේ සහෝදර මහජනතාව එයට එකතු වුණා. ඔබ අපි පතන අනාගත ලංකාව බිහිකිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා.

ඉදිරියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද නියමිත වන බව අපි දන්නවා. ඒ නිසා ජාතික හා ප්‍රගතිශීලී බලවේගවලට එකට අත්වැල් බැඳගත හැකි පරිදි පොදුජන එක්සත් නිදහස් පෙරමුණ බිහිකිරීම මේ රටේ ඉතිහාස ගමනේ අලුත් පරිච්ඡේදයක් ලෙස අපි සලකමු. අපි වෙනස් මඟක් අරගෙන නැහැ. අපි අරගෙන තිබෙන්නේ මේ රට ගමන් කළ යුතු ජාතික හා ප්‍රගතිශීලී ගමනේ, පොදු ජනතාව සමඟ අත්වැල් බැඳගෙන යන ගමනක්. ඒ සඳහා වූ සහාය සහ දායකත්වය අවශ්‍ය වෙනවා. ඉතිහාසයේ නොවූ විරූ දේශපාලන අර්බුදයකට අවුරුදු දෙකකට කලින් අපේ රට මුහුණ දුන්නා. යුද්ධ කාලෙදිවත් මුහුණ නොදුන් ආකාරයේ ඒ මහා අර්බුදයෙන් ගොඩ එන්න ඔබ අපි අත්වැල් බැඳගෙන ඇති කළ නව ශක්තිය හා සමාන ශක්තියකින් යුතුව, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සර්වජන ඡන්දය මත විශ්වාසය ඇතිවයි අද මේ ගමන අරඹන්නේ. විනයක් ඇතිව වැඩ කිරීම තුළින් රටක් මෙහෙයවීමේ දී ඇති කළ හැකි ප්‍රතිඵලය වේගවත් බව පහුගිය අවුරුදු දෙකේ අපි දැක්කා. අරාජික, පාලන තන්ත්‍රයක් නැතිව තිබුණු රටක විනය තුළින් ආර්ථික ප්‍රගතියක් බිහිවුණා.

අපි බිහිකළ මෙම පෙරමුණ තුළින් විනයක් ඇති රටක් ගොඩනැ‍ඟීමට අධිෂ්ඨානයෙන් යුතුව කැපවෙමු. අධිෂ්ඨානය ඉතාම වැදගත්. විවේචනයන්ට සවන් දෙන අතර, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. අතීතයේ සිට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරලා තියෙනවා. කුමන විවේචන හා තර්ජන තිබුණද, මහජන ඡන්දයෙන් පාලනතන්ත්‍රයන් තෝරා ගනිමින් රට ගමන් කළ යුතු මාර්ග පිළිබඳ තීන්දු ගත් මාතෘ භූමියක් අපට තිබෙන්නේ. ඒ අභිමානය අපේ රටට සහ ඉන්දියාවට පමණයි තියෙන්නේ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්, මහජනතාව කෙරෙහි තබන විශ්වාසයත් මත අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට දියුණු කරන්න අවශ්‍යයි. මෙතැන දී අලුත් පරම්පරාව අපේ දිහා බලන් ඉන්නවා. අපි මේ ගමන යන්නේ ඒ අනාගත පරම්පරාව සඳහායි. තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන සමාජයීය හා සංවර්ධන දියුණුවේ ඉලක්ක සාක්ෂාත් කරගැනීමට පෙරමුණක් ලෙස වැඩ කරන්න සිදුවෙනවා. හිංසාවාදය තුරන් කොට අවිහිංසාවාදයෙන්, ප්‍රජාතන්ත්‍රවාදී රට ආරක්ෂා කරන්නට ඔබ අපි සියලු දෙනා කැපවුණා. හිංසාවාදය දොරටුව ළඟට පැමිණි විට එය අත්හැර ගමන් කර හිංසාවාදය ආපසු හැරවීමට හැකිවුණා. ඒ උරුමය ඇතිවයි මේ දේශපාලන ගමන ඉදිරියට ගෙනයන්නට හැකි වෙන්නේ.

මේ අවුරුදු දෙකේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් දේශපාලන පක්ෂ, දේශපාලන නොවන සමාජයේ විවිධ ආයෝජකයන්, ආර්ථික නිෂ්පාදකයන් සමඟ අපට කටයුතු කරන්නට පුළුවන් වුණා. ස්ථාවර ආණ්ඩුවක් මෙහෙයවිය හැකි බවට වූ විශ්වාසය යළිත් ජනිත කළ ඒ ක්‍රියාමාර්ගය සුවිශේෂයි. අසීරු මාර්ග ඔස්සේ අර්බුදයෙන් ගොඩගත්ත රටක්. මේ ජනාධිපතිවරණය අපේ පෙරමුණටත් ඉතාම සුවිශේෂයි. සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය ජයගෙන, ස්ථාවර ආණ්ඩුවක් ලෙස ඉදිරියට ගමන් කිරීමටත්, ඉදිරියේ පැවැත්වෙන සෑම මැතිවරණයකදීම සියලු මිත්‍ර පක්ෂ හා බලවේග සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන්න අපේ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ කැපවෙනවා.

 
පක්ෂයේ ප්‍රධාන ලේකම්, ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා.

 

අද වන විට එක් කණ්ඩායමක් වෛරය පතුරවමින් ඉන්නවා. තවත් කණ්ඩායමක් බොරු පොරොන්දු දෙමින් විහිළු කතා කියමින් යනවා. ජනතාව මින් මුදා ගන්නයි අපි පෙරමුණ ගත්තේ. අපි අපේ පක්ෂය දාලා ගියේ නැහැ. පක්ෂයයි අපව දාලා ගියේ. අපි පැත්ත මාරු කළෙත් නැහැ. පිල් මාරු කරන්නෙත් නැහැ. අපි සමඟ සිටින කිසිවකු අතරමං වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි දිනන ලකුණ තමයි කුසලානය. අපි ඉදිරියේ පැවැත්වෙන සෑම මැතිවරණයකටම තරග කරනවා. ඉදිරියේ පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහාත් තරග කරනවා. එම නිසා අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පාට පක්ෂ භේද අතහැර රට ගොඩගන්න එක්වන්න කියලා.

 
සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා –

 

අවුරුදු 76ක් තුළ සිදු වුණ දේ ගැන බොහෝ තැන්වල කතා කරනවා. විවිධ බොරු මත ප්‍රචාරය කරමින් යනවා. ඩී.එස්. සේනානායක මහත්මයාගෙන් ආරම්භ වෙලා රනිල් වික්‍රමසිංහ මහතා දක්වා පත් වුණ සෑම ජනාධිපතිවරයෙක්ම මෙරටට විශාල සේවාවන් සිදු කර තිබෙනවා. අවුරුදු 76න් අවුරුදු 42ක් ආණ්ඩු කරලා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සභාග ආණ්ඩු. ඉතිරි කාලය එක්සත් ජාතික පක්ෂය මේ රටේ ආණ්ඩු කරලා තිබෙනවා. ඒ අතින් ගත්තම නිදහස ලබන කොට තිබූ තත්ත්වයට වඩා මේ රට හාත්පසින් වෙනස් වෙලා තිබෙනවා. එදා සහල් නිෂ්පාදනය සියයට 38යි. අද එය සියයට සියයක් වෙලා තිබෙනවා. එදා ස්ථිර නිවාස තිබුණේ සියයට 21යි. අද එය සියයට 91ක් දක්වා වැඩි වී තිබෙනවා. එදා විදුලිය සියයට 8යි. අද විදුලිය සියයට 95යි. එදා විශ්වවිද්‍යාල එකයි. අද රාජ්‍ය විශ්වවිද්‍යාල 17යි. එදා විශ්වවිද්‍යාලයකට ඇතුළු වුණේ ළමයි 250-300ක් පමණයි, අද 70000ක් පමණ ඇතුළු වෙනවා. එදා සාක්ෂරතාව සියයට 52යි. අද සියයට 92යි. එහෙම බලද්දි අවුරුදු 76ට යමක් වෙලා නැහැ කියන්න බැහැ. එම නිසා අප කළ යුත්තේ ආර්ථික වර්ධනය නිසි තැනක පවත්වාගෙන යෑමයි. ආර්ථික වර්ධන වේගය සියයට 6-8ත් අතර පවත්වා ගෙන යන්න අවුරුදු 10ක් කටයුතු කළහොත් මේ රට දියුණු කළ හැකියි.

මෙම අවස්ථාවට මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි හිමි ඇතුළු මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජක ප්‍රසාදීන් වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු හා පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු, විද්වතුන්, කාන්තා, තරුණ, සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Advertiesment