Friday 4th of October 2024

English Tamil
Advertiesment


සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය සිකුරාදා 


2024-09-06 1314

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද (6 වැනිදා) ඕවල් ක්‍රීඩාංගණයදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරග දෙකෙහිම ජයග්‍රහණය සත්කාරකයන් හට හිමි වී තරගාවලි ජය ඔවුන් සතු වුවත්, ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ ඉහළ ස්ථානයක රැඳී සිටීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වනු ඇත. එමෙන්ම මෙම තරගාවලියේ අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දක්ෂතා වැඩි දියුණු කර ගනිමින් වසර 10ක දීර්ඝ ඉඩෝරයකින් පසු එංගලන්තය ටෙස්ට් තරගයකින් පරාජය කිරීමට හිමිවන දුර්ලභ අවස්ථාවක්ද වනු ඇත.


ඕවල්හි ශ්‍රී ලංකා ඉතිහාසය


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක් සඳහා සහභාගී වන්නේ වසර 26කින් හෙවත් 1998 වර්ෂයෙන් පසුව වීම විශේෂත්වයකි. 1998 වසරේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ එකම ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාව සතු විය. මෙම ජයග්‍රහණය එංගලන්තයේදී ශ්‍රී ලංකාව ලබාගත් පළමු ටෙස්ට් ජයග්‍රහණයද විය. එම තරගයේදී මුත්තයියා මුරලිදරන් එක් ඉනිමකදී කඩුලු 9ක් සමගින් කඩුලු 16ක් දවාගත් අතර එය එංගලන්තයේදී සංචාරක කණ්ඩායමේ පන්දු යවන්නෙක් දැක්වූ ඉහළම දක්ෂතාවය ලෙසින් වාර්තා විය. එමෙන්ම මෙම තරගයේදී අරවින්ද ද ලකුණු 152ක් රැස් කරගත් අතර වත්මන් ජාතික කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මෙම තරගයේදී ලකුණු 213ක් රැස් කළේය. එංගලන්තයේදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ එම ද්විත්ව ශතකය එය වන අතර එම තරගයේ ජය කඩුලු 10කින් ශ්‍රී ලංකාවට හිමි විය.

 
කණ්ඩායමේ වෙනස්කම්..?

 

තීරණාත්මක තුන්වන ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු වනු ඇතැයි අනුමාන කළ හැක. ඒ අනුව නවක පිතිකරු නිශාන් මධුෂ්ක විවේක ගන්වා උපනායක කුසල් මෙන්ඩිස්ව නැවතත් මෙම තරගයේදී කණ්ඩායමට එක් කර ගැනීමට වැඩි ඉඩක් ඇත. කෙසේවෙතත් මෙම වෙනස්කම සමගින් පිතිකරණ අනුපිළිවෙළේ වෙනස්කම් තුනක් හෝ වැඩි ප්‍රමාණයක් වීමට ඉඩ ඇති බවද උපකල්පනය කළ හැක. මේ අනුව දෙවැනි තරගයේදී අංක 3 පිතිකරු වශයෙන් කටයුතු කළ පැතුම් නිස්සංකට ආරම්භක පිතිකරු තනතුර ලැබෙනු ඇති අතර, අංක 7 ස්ථානය කුසල් මෙන්ඩිස්ට හිමි වනු ඇත. අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් අංක 3 පිතිකරණ තනතුරට උසස්වීම සඳහා වැඩි ඉඩක් පවතියි.


 
සහභාගී වනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම -


පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කමිඳු මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර

Advertiesment