Thursday 19th of September 2024

English Tamil
Advertiesment


 ටෙස්ට් ශ්‍රේණියේ පළමු 10 අතරට අසිත ප්‍රනාන්දු


2024-09-05 1232

ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක තුළදී කඩුලු 14ක් දවාගත් අසිත ප්‍රනාන්දු ලෝක ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් තුළ 8 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබාගැනීමට බදාදා (4 වැනිදා) සමත් විය. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු දහදෙනා අතරට පැමිණියේ 2009 වර්ෂයෙන් පසුව වීම විශේෂත්වයක් වන අතර 2009 වර්ෂයේදී චමින්ද වාස් අවසන් වරට පළමු ස්ථාන 10 අතර රැඳී සිටියේය.

ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙක අවසන් වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වශයෙන් පසුවන අසිත, මෙහිදී දැක්වූ මෙම දක්ෂතා මත ශ්‍රේණිගත කිරීම්හි 17 වැනි ස්ථානයේ සිට ස්ථාන 9ක් ඉදිරියට පැමිණීමට සමත් විය. මෙම තරගාවලියේ අසිතගේ පන්දු යැවීමේ සාමාන්‍යය 20.14ක් වශයෙන් සටහන් වී ඇත. එමෙන්ම ඔහු මෙම තරග දෙක තුළ කඩුලු 4 බැගින් එක් අවස්ථාවකදී සහ කඩුලු 5 බැගින් එක් අවස්ථාවකදී දවා ගැනීමට සමත් විය.

මේ වන විට ශ්‍රේණිගත කිරීම් සටහනේ ලකුණු 734ක් ලබා සිටින අසිතට තුන්වන ටෙස්ට් තරගයේදීත් දක්ෂතා අතරට පිවිසීමට හැකි වූවහොත් තවත් ස්ථාන කිහිපයක් ඉදිරියට යෑමටද ඉඩ හිමි වනු ඇත.

මේ අතර පසුගිය සතියේදී ශ්‍රේණිගත කිරීම් වල 9වැනි ස්ථානයේ රැඳී සිටි ප්‍රභාත් ජයසූරියට 13වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු වී තිබේ.

Advertiesment