ජාතික ජන බලවේගය "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" යනුවෙන් එළි දක්වා තිබෙනවා. මෙය පිටු දෙසිය තිහක විශාල පොතකි. ඒ අනුව මෙහි අන්තර්ගතය ඉතාමත් පොහොසත්, ඉතාමත් යහපත් සහ රට ඉදිරියට ගෙන යාමට හැකි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලෙස මෙම පොතේ විශාලත්වය අනුව ජනතාව විශ්වාස කරනු නිසැක ය. මෙය මෙතෙක් අපේ රටේ දක්වන ලද විශාලම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ද විය හැකිය.
ඔවුන් ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය පිළිබඳව සඳහන් වන කොටස පමණක් ගෙන විග්‍රහ කිරීම මේ මොහොතේ මගේ අරමුණයි. මෙහි අන්තර්ගතය කියවා බැලූ විට සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන විෂයන් දෙක පිළිබඳව අදාළ කරුණු සකස් කළ අය ඒ පිළිබඳව කිසිදු දැනුමකින් තොරව මෙය ලියා ඇති බව පැහැදිලි වෙයි. මා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් කරුණු අතරින් කතා කරන්නේ මේ අංශ දෙක පිළිබඳව පමණි. ඊට හේතුව ඒ අංශ දෙක පිළිබඳව යම්කිසි ආකාරයක දැනුමක් මා තුළ තිබෙන නිසා ය. මම ළමා රෝග සහ අසාත්මික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් මි. ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සහ උප සභාපති ලෙස කටයුතු කර ඇත්තෙමි. එසේම වෛද්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක්ද මට ඇත. අධ්‍යාපනය පිළිබඳව සැලකුවහොත් ලංකාවේ පාසල් අධ්‍යාපනය පිළිබඳව පොතක් ලියා පළ කර ඇත්තෙමි. ලංකාවේ පාසල් අධ්‍යාපනයට අදාළ ලිපි ලේඛන රාශියක් මා ලියා ඇත. ඊට අමතරව ජාතික අධ්‍යාපන කොමිසමේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ කමිටුවේ සාමාජිකයකු ලෙස වසර හතරක කාලයක් සේවය කළෙමි. මා මෙම කෙටි විග්‍රහය කරන්නේ මෙම දැනුම හා පළපුරුද්ද මත පදනම් වී හිඳගෙන ය.
මුලින්ම මම මෙහි සෞඛ්‍ය පිළිබඳව දැක්වෙන පූර්විකාව සම්බන්ධයෙන් කතා කිරීමට කැමැත්තෙමි.2021 යුනිසෙෆ් වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සෞඛ්‍ය සඳහා වැය කරනුයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.5%ක් බව මෙම වාර්තාව දක්වයි. නමුත් යුනිසෙෆ් වාර්තාවෙහි සඳහන් වන්නේ එය 3.8% ක් බව ය. මෙය කිසිසේත් සුළු කොට නොතැකිය හැකි විශාල වැරදීමකි. මෙය ඔවුන්ගේ නොදන්නාකම නිසා ලියා ඇති දෙයක් විය හැකිය.මේ වරද සිදු වූයේ කෙසේද..?
අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 3.8% ක් වන මේ ප්‍රමාණය යුනිසෙෆ් වාර්තාවම දක්වන පරිදි දකුණු ආසියාවේ සාමාන්‍ය (Average ) සාමාන්‍ය ප්‍රමාණය වන 3.5 ට වඩා වැඩි ය. ඒ අනුව අප දළ ජාතික නිෂ්පාදනයෙන් සෞඛ්‍යයට වැඩිපුර වියදම් කරන රටකි. නමුත් මෙහිදී විශේෂයෙන් සිහි තබාගත යුතු කරුණක් තිබේ. එනම් මේ 3.8 න් රජය විසින් කරනු ලබන වියදම වන්නේ 1.5 ක් පමණි . ඉතිරි කොටස තනි තනි පුද්ගලයන් විසින් තමන්ගේ පෞද්ගලික ධනයෙන් වැය කරනු ලබයි. රජය විසින් වැය කරනු ලබන කොටස 1.5 % යන්න වෙනුවට දළ ජාතික නිෂ්පාදනයෙන් 1.5% ක් වැය කරන බව ඔවුන් පවසා ඇත්තේ මේ වෙනස පිළිබඳ වැටහීමක් නැතිව ය. රටක පාලනය භාර ගන්නට බලා හිඳින පිරිසක් රටේ සෞඛ්‍ය සහ සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික සංකල්පයවත් නොදැන හිඳීම තුළ ම විශාල ගැටලුවක් පවතියි.
ඊළඟට මෙහි අන්තර්ගතයේ ඇති " හදිසි ප්‍රතිකාර" නමින් දක්වා ඇති කොටසේ සඳහන් කරුණු කිහිපයක් ද විශේෂයෙන් උපුටා දක්වමි. එහි පළමු කරුණ ලෙස සුවසැරිය වැනි ගිලන් රථ සේවාවන් ගැන සඳහන්ව ඇත.ඊළඟට හදිසි ප්‍රතිකාර යටතේ දක්වන දෙවැනි කරුණ වන්නේ ඖෂධවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම ඖෂධ පරීක්ෂණ රසායනාගාර පිහිටු වීමක් පිළිබඳවයි. මෙය හදිසි ප්‍රතිකාර යටතට ගැනෙන්නත් නොවේ. මෙවැනි දෙයක් අඩංගු විය යුත්තේ ඖෂධ පිළිබඳ ප්‍රතිපත්තියෙහි කොටසක් ලෙස ය. හදිසි ප්‍රතිකාර යටතේ දක්වන තුන්වන කරුණ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීමයි. මෙය හදිසි ප්‍රතිකාරයක්දැයි මම ප්‍රශ්න කරමි.හදිසි ප්‍රතිකාරයක් යනු යම්කිසි රෝගියෙකුට හදිසි අවස්ථාවක්, එනම් හදිසි හෘදයාබාධයක්, හදිසි ආඝාතයක්, එසේත් නැත්නම් වෙනත් හදිසි අනතුරක් වැනි දෙයකදී කරනු ලබන දේවල් ය. දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීමත් ඔවුන් දක්වා තිබෙන්නේ මේ යටතේ ය. එය ද හදිසි ප්‍රතිකාර යන්නට අයත් නොවන්නකි. ඖෂධ ආනයනය හා බෙදාහැරීමේ දී සිදුවන දූෂණ සහ වංචා සහමුලින්ම ඉවත් කිරීම යන්න ද හදිසි ප්‍රතිකාර යටතේ දක්වා ඇත. හදිසි ප්‍රතිකාර යටතට ගෙන ඇති තවත් කරුණක් නම් රාජ්‍ය සෞඛ්‍ය සේවා අංශවලට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීමයි. එයද හදිසි ප්‍රතිකාර යන මාතෘකාවට අදාළ නොවන බව පාසල් දරුවෙකුට වුව වටහා ගත හැකි වේ යැයි සිතමි. ජාතික ජන බලවේගය කිසියම් හෝ ඖෂධ ප්‍රතිපත්තියක් ගැන සිතුවේ නම් මෙම කොටස ඇතුළත් විය යුත්තේ එයට ය. ඖෂධ ප්‍රතිපත්තිය යනු හදිසි ප්‍රතිකාර යටතට නොගැනෙන්නකි. ඒ පිළිබඳව ද ඔවුන්ට වැටහීමක් නොමැති බව පෙනේ.
මෙම ප්‍රකාශනයෙහි ප්‍රාථමික ප්‍රතිකාර නම් කොටස යටතේ ජනගහනය 5000 - 10000 දක්වා ආවරණය වන පරිදි පවුල් වෛද්‍යවරයෙක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පත් කරන බව සඳහන් ය. බැලූ බැල්මට නම් මෙය ඉතාම සුන්දර යෝජනාවකි. නමුත් මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සහ රෝග ප්‍රතිකාර සේවාවන් ලෙස අපේ රටේ අංශ දෙකක් ඇත. මේ කියන පවුල් වෛද්‍යවරයා සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අයත් වන්නේ මින් කුමන කොටසටද? ඊට අමතරව අපේ රටේ රජයේ සේවයේ නියුතු ව හිඳිමින්, තම සේවා කාලයෙන් බැහැර ව පවුල් සෞඛ්‍ය සේවාවන් සපයන සාමාන්‍ය වෛද්‍යවරු (General physician ) සිටිති. මේ රටේ 95% කට වඩා වැඩි ප්‍රමාණයක් පවුල් සෞඛ්‍ය සේවාවන් සපයන්නේ සහ පවුලේ වෛද්‍යවරුන් ලෙස සිටින්නේ මේ අයයි. මේ පිරිස ගැන ජාතික ජන බලවේගය දරන අදහස කුමක්ද? මෙයින් හැඟවෙන්නේ එම වෛද්‍යවරුන් එලෙසම සිටියදී පවුලේ වෛද්‍යවරුන් ලෙස තවත් පිරිසක් පත් කරන බව ද? එසේත් නැත්නම් මොවුන්ගේ පුද්ගලික වෛද්‍ය සේවා නවතන බවද? මේ අලුතින් පත් කරන පිරිස පුද්ගලික අංශයේ අයද? නැතහොත් රජයේ වෛද්‍යවරුන්ද? එසේත් නැත්නම් ප්‍රාථමික සේවාවන්ට අයත් ද? ඒ කිසිවක් ගැන මෙහි සඳහන් කර නොමැත. මෙයින් හැඟවෙන්නේ වර්තමානයේ අපේ රටේ පවත්නා සෞඛ්‍ය සේවයේ ස්වභාවයවත් මේ අය නොදන්නා බව නොවේද? මෙවැනි බරපතල වැරදි රාශියක් මෙහි ඇතුළත් ව තිබේ.
ඊළඟට මෙහි ඇති පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව දක්වා ඇති කොටස වෙත ඔබේ අවධානය යොමු කරමි. පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපනය යනු පෙරපාසල් අධ්‍යාපනයයි. මෙම පෙර පාසල්, එසේත් නැත්නම් මොන්ටිසෝරි අධ්‍යාපනය යනු අපේ රටේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය මගින් සිදු කරනු ලබන අධ්‍යාපනයකි. තනි පුද්ගලයන් හෝ පුද්ගලික ආයතන හෝ සමාජ සේවා සංවිධාන මගින් සිදුකෙරෙන මෙම පෙරපාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා ප්‍රතිපත්තිය මෙහි විස්තර නොවේ. මේවා නියාමනය කිරීම සඳහා ආයතනයක් පත් කරන බව සඳහන් කර තිබුණත්, ඒ කෙසේද, කුමන ආකාරයෙන් ද යන්න සහ මේ අයගේ තිබෙන ප්‍රශ්න මොනවාද යන්න පිළිබඳව මෙහි කොතැනකවත් සඳහන් ව නැත.
අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි දැක්වෙන තවත් කරුණක් නම් අවශ්‍යතාවයන්ට සහ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව පාසල් ප්‍රවාහන පද්ධතියක් ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුලත් කරන බව ය. මෙහි අර්ථය කුමක්ද? එය සරලව ගතහොත් බස් රියදුරා පැමිණ "පස්වෙනි ශ්‍රේණියෙන් පහළ ද? නැත්නම් උඩද? පහළ නම් නගින්න. උඩ නම් නගින්න බෑ." වැනි දෙයක් පවසා ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් පමණක් බසයට නංවා ගැනීමද? මෙහි අනෙක් කොටසේවත් ප්‍රාථමික ශ්‍රේණියෙන් ඉහළ ළමයින් ගැන කිසිදු සඳහනක් නැත. ඒ අනුව ප්‍රවාහන සේවාව සලසන්නේ ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට පමණක් විය හැකිය. එනිසා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන මේ කරුණුවලට අනුව පාසල් බස්වල යන්නට නම් දරුවන්ගේ වයස අවුරුදු දහයට අඩු විය යුතුය. එනිසා මෙය සිහි බුද්ධියෙන් කියවන ඕනෑම කෙනෙකුට මේ මොනතරම් විහිළුවක් ද යන්න වැටහෙනු ඇත.
මෙම දීර්ඝ ප්‍රතිපත්ති ප්‍රකාශනය උගතුන් විසින් රටේ අනාගතය පිළිබඳව සලකා බලා ඉතාමත් ප්‍රවේශමෙන් ලියූ එකක් බව කිසිසේත් නොසිතිය යුතුය. එහි සාවද්‍ය කරුණු බෙහෙවින් අඩංගු වන අතර ඒවා ක්‍රියාත්මක කිරීමද අපහසු ය. පැහැදිලිවම පෙනී යන අනෙක් කරුණ වන්නේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිවීම සඳහා දායක වූ අයවත් මෙය කියවා නැති බවයි. රටේ අනාගතය බාරගන්නට ඉන්නවා කියන උගතුන් මේ අයද? මෙවැනි ලියවිල්ලක් පවා හරිහැටි ලියා ගන්න බැරි අයට රටක් බාර දෙන්න බය නැත්ද..?
පිටු 230 ක් ඉතාමත් අලංකාර ලෙස ලියා ඉදිරිපත් කළ විට එතරම් දීර්ඝ පොතක් කියවා බලන්නට කිසිවකු ඉදිරිපත් නොවනු ඇතැයි සිතන්නේ නම් එය ඔවුන්ට වූ වැරදීමකි. නමුත් අපට මේවා ගැන අවබෝධයක් තිබෙන නිසා මේවා සියල්ල කියවා එකින් එක ගැන මෙසේ විස්තර කරන්නෙමු. සැබවින්ම මා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දකින්නේ සටන් පාඨවල එකතුවක් ලෙස පමණි. මෙහි සඳහන් අනෙක් කරුණු ගැන මා කිසිවක් දැනට කිසිවක් පවසන්නේ නැත. නමුත් සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන කොටස් දෙක එය සකස් කරන ලද පුද්ගලයන් එකතු වී නැවත සංස්කරණය කර එහි ඇති අඩුපාඩු නිවැරදි කර යළි මුද්‍රණය කිරීම සුදුසු ය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමා එක් අවස්ථාවක ප්‍රසිද්ධ වේදිකාවක දී වෛද්‍යවරුන් තිදෙනෙකුගේ නම් සඳහන් කර " අපේ සෞඛ්‍ය සේවය ගෙනයන්නේ මේ තිදෙනා තමයි" යනුවෙන් හඳුන්වා දුන් අයුරු දුටුවෙමි. මේ තිදෙනා වන්නේ මහාචාර්යවරයෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක් සහ දේශපාලඥයෙකි. මෙයින් දෙදෙනෙක්ම 87- 89 වර්ෂවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේ මගේ සටන් සගයන් ය. කෙසේ වුවද සෞඛ්‍ය පිළිබඳ ඔබගේ ප්‍රතිපත්තිය ගැන විවාදයකට හෝ සාකච්ඡාවකට අප සමග සමඟ එක්වන ලෙස මේ තිදෙනාට මම ආරාධනා කරමි. මා තනිව හෝ එම සංවාදයට පැමිණීමට සූදානම් ය.
එසේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය කවුරුන් නම් කර තිබෙන්නේ දැයි නොදනිමි. ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය විශ්ව විද්‍යාල ආචාර්යවරියකි. එතුමියට අධ්‍යාපනය සම්බන්ධයෙන් අවබෝධයක් ඇතැයි සිතමි. සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ජාතික ජන බලවේගයේ යම් කිසි පිරිසක් නම් කර ඇත්නම් ඒ අය සමග විවාදයකට හෝ සංවාදයකට අප සූදානම් ය. පිරිසක් සමග හෝ මා තනිව හෝ මේ සඳහා ඉදිරිපත් වන අතර එම විවාදයට හෝ සංවාදයට පැමිණෙන ලෙස කරුණාවෙන් ආරාධනා කර සිටිමි. මෙවැනි සංවාද රටේ ප්‍රගමනයට බෙහෙවින් ඉවහල් වෙනු ඇත.
Lanka Newsweek © 2024