Tuesday 23rd of April 2024

English Tamil
Advertiesment


සැබෑ සුන්දර කාන්තාවක් වන්නේ කෙසේ ද..?


2019-07-02 8106

කාන්තා ඔබ කවුරුත් සුන්දර වීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. නිරන්තරයෙන්ම ඔබ ඒ ගැන අවධානයෙන් සිටින බව අප දන්නවා. විවිධ ආලේපන වර්ග ගල්වමින්, නොයෙකුත් රූප ලාවන්‍ය ක්‍රම අනුගමය කරමින් ඔබ සුන්දර වීමට දැඩි උත්සාහයක යෙදෙනවා. නමුත් කාන්තාවකගේ සුන්දරත්වය ඔප නැංවෙන්නේ බාහිරින් අනුගමනය කරන ක්‍රමෝපයන්ගෙන් පමණක්ම නොවේ. කාන්තාවක් සතු සුන්දරත්වයට නොයෙකුත් අංග ගණනාවක්ම බලපානවා.ඒ මොනවාද යන්න අප කෙටියෙන් විමසා බලමු.

කාන්තාවකගේ ගමන් විලාශය

කාන්තාවකට සහජයෙන්ම උරුම වූ ලාලිත්‍යයක් තිබෙනවා. මේ ලාලිත්‍යය මනාව පෙන්නුම් කරන එක අංගයක් ලෙස ඇයගේ ගමන් විලාශය හැදින්විය හැකිය. මේ නිසා කාන්තාවක් ඇයගේ සුන්දරත්වය ඔපවත් කර ගැනීමට නම් තම ගමන් විලාශය ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. පිරිමියෙක් වගේ අතපය විහිදුවමින් ගමන් කිරීම කෙසේවත් ඔබින්නේ නෑ. නමුත් මේ කාර්ය බහුල ජීවන රටාව හමුවේ විශාකාව වගේ ලැසි ගමනින් ගමන් කළ යුතුයැයි අප කියන්නේ නෑ. එසේ නම් විය යුත්තේ කාන්තා ලාලිත්‍යයට කඩිසර බව එක කර ගැනීමෙන් සුන්දරත්වයක් මතු කර ගැනීමයි.

ඉරියව් පාලනය

කාන්තාවක් ඇයට උචිත පරිදි ඉරියව් හැසිරවීම තුළින් ඇය කෙරෙන් සැබෑ සුන්දරත්වයක් විහි දෙනවා. විශේෂයෙන් පිරිසක් ඉදිරියේ වාඩි වෙන ආකාරය, ආගන්තුකයකුට, වැඩිහිටියෙකුට සලකන ආකාරය, තමන්ගේ අංග චලන නිවැරදිව භාවිත කරන අයුරු ආදී මේ සෑම ඉරියව්වකින්ම ඇය කෙතරම් සුන්දර තැනැත්තියක්ද යන්න සමාජය තීරණය කරනවා. මේ නිසා නිරන්තරයෙන්ම තමාගේ ඉරියව් ගැන දෙවරක් සිතීම සුබ දෙයක්.

කතා බහ

රූපයෙන් ඉතා රූමත් සමහර කාන්තාවන් කට ඈරී සැනින්ම ඇයගේ සුන්දරත්වය පලායන අයුරු ඔබ කොතෙකුත් දැක ඇති. තොර තෝංචියක් නැති කියවිල්ල, තැනට සුදුසු නැති කතාව, ඉතා උස් හඩින් කතා කිරීම, පිරීමි පක්ෂයට අවේනික වචන භාවිතය ආදී දේ නිසා කාන්තාවක් සතු සුන්දරත්වය එසැනින් නැතිවී යන අවස්ථා බොහොමයි. මේ නිසා කාන්තාවක්  ලෙස ඔබ ඔබගේ සුන්දරත්වය රැක ගැනීමට නම් නිරන්තරයෙන්ම තම කතාබහ ගැන ඉතාම පරිස්සම් විය යුතුයි. කතාවට මාතෘකා වන කරුණු පළිබදව සැලකිලිමත් වීම, ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ තව කෙනෙකු විවේචනය කිරීමෙන් බැහැර වීම, අපහාසයට උපහාසයට ලක් වන කතා බහෙන් වැළකී සිටීම, තව කෙනෙකුගේ හිත රිදෙන කතාවෙන් වැළකීම වැනි දේ පිළිබදව ඔබ සැලකිලිමත් වුවහොත් ඔබටත්  අනිවාර්යෙන්ම සුන්දර කාන්තාවක් වීමට එතරම් අපහසු වන එකක් නෑ.

ආචාරශීලීභාවය

කාන්තාවක් සැමවිටම තමන්ගේ හැසිරීමෙන්, කතාබහෙන් ආචාරශීලී වීම මගින් තම සුන්දරත්වය වඩා ඔපවත් කර ගත හැකිය. විශේෂයෙන්ම සමාජයේ හැසිරීමේදී තමාගේ ගෞරවය සේම අනෙක් අයගේද ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරීමෙන් තම ආචාරශීලීභාවය තුළින් සුන්දරත්වය අනෙක් අයට විදහා දක්වන්නට පුළුවන් . එමෙන්ම ස්තුතියි, කරුණාකරලා, සමාවෙන්න යන ආචාරශීලී වචන ඔබගේ ශබ්ද කෝෂයට නිරන්තයයෙන්ම එක් කර ගන්නේ නම් ඔබ අනිවාර්යෙන්ම අන් අය අතර වඩාත් කතාබහට ලක් වන චරිතයක් වේවි. ඔබේ ආචාරශීලීභාවයට සියලු දෙනා පැහැදේවි.

පිරිසිදු බව සහ පිළිවෙළ

කාන්තාවක් කෙතරම් ආලේපන තවරා ගෙන ලස්සන වෙන්න උත්සහ කළත් ඇය කෙරෙන් දහදිය ගඳ දැනෙනවා නම්, ඇය ඇඳ ගෙන සිටින ඇදුම් අපිරිසිදු හා අපිළිවෙළ නම් ඇය කිසිසේත්ම සුන්දර වන්නේ නෑ. මේ නිසා විශේෂෙන්ම සෑම කාන්තාවක්ම තමන්ගේ පිරිසිදුකම හා පිළිවෙළ ගැන නිරන්තරයෙන්ම සැලකිලිමත් විය යුතුයි. එමෙන්ම ඇය සෑමවිටම තම ගෙදර දොර වටපිටාවද පිරිසිදුව හා පිළිවෙළට තබා ගැනීම තුළින් ඇය වඩාත් සුන්දර කාන්තාවක්  බවට පත්වෙනවා.

හොඳ ආකල්ප

හිත ලස්සන නම් වත ලස්සන වන බව ඔබ අසා ඇති.එම නිසා නිරන්තයෙන්ම තමන්ගේ හිත සහ හදවත හොඳ ආකල්පවලින් පුරවා තබා ගැනීම තුළින් ඇත්තටම ඔබ ඉතා සුන්දර කාන්තවක් වේවි. ඉරිසියාව, කුහකකම, තරහව, ආදී හිතට වද දෙන අයහපත් සිතිවිලි ඉවත් කර ගෙන නිරතුරුවම තම සිතෙහි යහපත් ආකල්පම වගා කර ගන්න උත්සහ කරන්න. එවිට ඔබගේ සබැ ලස්සන හැමදෙනාම දකීවි.

ඔබ ඔබම වන්න

තවත් කෙනෙකු අනුකරණය කරන්න යාමෙන් ඔබ ඔබේ ප්‍රතිරූපයට හානියක් කර ගන්නේ ඔබටත් නොදැනීමයි. ඒ නිසා සෑමවිටම  ඔබ ඔබ ලෙසින්ම පෙනී සිටින්න. පුහු ආඩම්බරය ඔබෙන් ඉවත් කර ගන්න. නිහතමානී වන්න. නිරන්තරයෙන්ම සිනහ බර මුහුණකින් කාහටත් සංග්‍රහ කරන්න. එවිට ඔබ නිරන්තයෙන්ම අන් අය අතර ජනප්‍රිය චරිතයක් වේවි.

මේ ඉහත කී ගුණාංග ඔබ වර්ධනය කර ගත හොත් ඔබට සැබෑම සුන්දර කාන්තාවක් වීම එතරම් අමාරු කාර්යයක් වන්නේ නෑ. මේ නිසා මේ සියලු ගුණාංග ඔබේ ජීවිතයට එකතු කර ගෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර කාන්තාවක් වන්න.

-හිමාෂි ළමාහේවා-

Advertiesment