Thursday 13th of February 2025

English Tamil
Advertiesment


දිළිඳු බවෙන් ජනයා මුදා ගෙන අධිකරණයට හිස නමන නායකයෙක් රටට ඕනෑ 


2024-08-31 4444

 

රටේ නිදහස ශක්තිමත් කරන දිළිඳු බවින් ජනතාව මුදා ගන්නා හා අධිකරණයට හිස නමන නායකත්වයක් රටට අවශ්‍යව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් කාදිනල්තුමා මෙසේද කීවේය. “අද ශ්‍රී ලංකාවාසී අප සැම ඉතාමත්ම තීරණාත්මක මොහොතකට පැමිණ සිටිනවා. එනම් තව නොබෝ දිනකින් මේ ශ්‍රී ලංකා දේශයට නැවත ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ ඡන්දයකට අපි මුහුණ දෙනවා. මේ අවස්ථාවේදී මා විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා. කරුණාකර අවදියෙන් ඉන්න. මේ අවස්ථාවේදී තමන්ගේ වාසිය තකා විවිධාකාරයේ පොරොන්දු දෙන්නට නොයෙක් බොරු කියන්නට අපේ නායකයෝ පෙලඹී ඉන්නවා. මේක අවුරුදු 75ක් තිස්සේම මේ රටේ සිදු වෙනවා. ඔවුන්ට හැමදාම රැවටෙන්න, මේ රටේ ජනතාව රවට්ටන්න ඉඩ දෙන්න බැහැ. අපි අපගේ බුද්ධිය පාවිච්චි කරලා අපේ කැමැත්ත ප්‍රකාශ කරන්න ඕනෑ. අපිට ලැබෙන පොඩි වාසියට, දීමනාවකට, පොරොන්දුවලට අපි රැවටෙන්නට හොඳ නැහැ.

තවද එතුමා වැඩි දුරටත්සදහන් කරමින් පැවසුවේ අද අපේ රට මුහුණ දීලා තියෙන විශාලතම ප්‍රශ්නය තමයි දිළිඳුකම, දරිද්‍රතාවය. අද ශ්‍රී ලංකාවේ ජීවත් වන බොහෝ දෙනකුට තමන්ට ලැබෙන මාසික වේතනයෙන්, ආදායමෙන් ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. එය 60%ක පමණ වූ ප්‍රතිශතයක් කිව්වොත් අතිශයෝක්තියක් නොවෙයි.මේ තත්ත්වය තවත් ව්‍යාකූල කිරීමට ඉඩ නොදී මේ රටේ සම්පත් සෑම පුරවැසියකුටම සමසේ බෙදී යන ආකාරයේ සාධාරණ ක්‍රමවේදයක් මේ රට තුළ ඇතිවිය යුතුයි. රටේ ධනය සුළු පිරිසක් අතට ගිහිල්ලා වැඩි දෙනෙක් දුප්පත්කමෙන් හා බඩගින්නෙන් ජීවත් වන සමාජ ක්‍රමයක් නෙවෙයි මේ රට තුළ ඇති විය යුත්තේ. රටේ සෑම දෙනාට ම යහපත් ආර්ථික තත්ත්වයක් තුළ තමන්ගේ ජීවිතය ස්වාධීනව, ගෞරවයෙන් ජීවත් වියහැකි තත්ත්වයක් රට තුළ ඇති විය යුතුයි.”

Advertiesment