ලේක්හවුස් ආයතනයට ලැබුණු ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපයේ ඉතිරි මුදල් ලක්ෂ 11ක් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා කිලෝ මීටර් 13කින් යුත් වපසරයකින් පිහිටි නගර හා ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි විවෘත හා පාසල් මට්ටමින් පැවැත් වූ “ධර්ම රශ්මි” පොසොන් කලාපයේ ඉදි කළ පොසොන් තොරණ සහ විචිත්‍රවත් පොසොන් කූඩු තරගාවලියෙන් ජය ලැබූ පාසල් අංශයේ සිසුන්ට ලබා දුන් මුදල් ත්‍යාග සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් ලද මුදලින් ඉතිරි වූ රුපියල් ලක්ෂ එකොළහකට අධික මුදලක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සංවර්ධන අරමුදලට අගෝස්තු (27)වැනිදා පරිත්‍යාග කෙරිණි.
ධර්ම රශ්මි පොසොන් කලාපය පැවති දිනවල මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ඇතිවූ කඩතොලු ඉවත් කර එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබාදුන් උපදෙස් අනුව සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් එම මුදල මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ඊයේ (27) පරිත්‍යාග කරන ලදී. එම මුදල් පරිත්‍යාගය සිදුකරනු ලැබුවේ උදෑසන පාසලේ පැවති චාම් උත්සවයකදී ය.
විශේෂ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර පරණතන්ත්රි, මූල්‍ය අධ්යක්ෂ සුනිල් ජයන්ත නවරත්න, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, වැඩබලන සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ඩී.එම්. ධනසේන, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වත්මන් විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහත්වරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් මේ අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා මේ අවස්ථාවේදී කෙටි අදහස් දැක්වීමක් කරමින් මෙසේ පැවසීය.
“ආදරණීය දූ පුතුනි! සුදු වතින් සැරසිලා අප ඉදිරියේ බලා සිටින ඔබ තමයි මේ රටේ ශක්තිය හා අනාගතය මෙන්ම බලාපොරොත්තුව. මා අත්දැකීමෙන් කියනවා අපේ රටේ ආර්ථික අපහසුතා තිබුණත් ඉගෙනීමෙන් ඉහළට ආ චරිත බොහොමයක් තිබෙනවා. හොඳට ඉගෙන ගත්තොත් ඔබගේ අනාගතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත්වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒකට අභියෝග කරන්නත් කාටවත් බෑ. අධ්‍යාපනය තමයි අපේ ජීවිතය සාර්ථක කරන ප්‍රධානම මෙවලම. මම වැඩිහිටියෙක් හැටියට ඔබට දෙන උපදෙස නම් සාර්ථකත්වය හා සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපනය අනිවාර්යයි. අද අපි පිරිනමන මේ මූල්‍ය පරිත්‍යාගය භාවිතයට ගෙන රටේ අනාගතය භාරගැනීමට සිටින හොඳ උගතෙක් වී රටට වැඩදායී පුද්ගලයෙක් වන්නයි මා ඔබගෙන් ඉල්ලීමක් කරනවා.
දුවේ පුතේ ඔබලාට මතක ඇති මීට මාස දෙකකට පමණ කලින් හෝමාගම පැවැති ධර්ම රශ්මි පොසොන් කලාපයේ පාසල් හා විවෘත තරග යන කොටස් දෙකකින් සමන්විත පොසොන් කූඩු හා පොසොන් තොරණ තරගයක් පැවැත්වුණා. එය සංවිධාන කළේ ලේක්හවුස් ආයතනය. අවුරුදු සීයකට වඩා වැඩි කාලයක් පුවත්පත් ගණනාවක් පළ කළ එකම ආයතනය එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම බව අද අපට එහි සාමාජිකයන් වශයෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකියි. විවෘත අංශ තරගය සඳහා ත්‍යාග මුදල් ලබාදීමට ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනය අනුව අපේ රටේ සිටින ව්‍යාපාරික භවතුන් අප ආයතනය සමඟ එකතු වුණා. එම ව්‍යාපාරික භවතුන් ලබා දුන් මුදල් පරිත්‍යාගවලින් ත්‍යාග ලබාදීමෙන් අනතුරුව ඉතිරිව තිබෙන මුදල මේ පාසලේ අභිවෘද්ධිය හා දියුණුව වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට දෙන්න කියා ඇමැතිතුමා කළ ඉල්ලීමට අනුව තමයි රුපියල් ලක්ෂ 11කට ආසන්න මුදල අපි පාසලට ලබා දුන්නේ. අප ආයතනයේත් ඇමැතිතුමාගේත් බලාපොරොත්තුව තමයි මේ පාසලින් බිහිවන දරු පරපුර අනාගතයේදී රටට වැඩදායී ආකල්පවලින් පිරිපුන් පිරිසක් බිහිවෙනවා දැකීම එබැවින් ඒ බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා”යිද පැවසීය.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ වත්මන් විදුහල්පති ආචාර්ය සරත් බන්දු ගුණසේකර මහතා – “අද අපේ පාසලට ලද මේ අවස්ථාව ඉතා සුවිශේෂී අවස්ථාවක්. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිර්මාතෘ වත්මන් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව පැවැත් වූ ධර්ම රශ්මි පොසොන් කලාපය විවෘත හා පාසල් යන අංශ දෙකෙන් තරග රාශියක් පැවැත්වුණා. එහිදී අප පාසලට අතිවිශාල ජයග්‍රහණ රැසක් හිමිවුණා. තරග විසිපහකින් තරග අටක ජය ලබා ගන්න අපේ පාසලේ දුවලා පුතාලා සමත් වුණා. ඒ තරග අතරින් ප්‍රථම ස්ථානයත් අපේ පාසලේ ශිෂ්‍යයකුට හිමිවීම සුවිශේෂී අවස්ථාවක්. රුපියල් හය ලක්ෂ හැටදහකට ආසන්න අතිවිශාල මුදල් ප්‍රමාණයක් අපේ පාසලේ උන්නතිය වෙනුවෙන් දිනා දීමට අපේ දරුවන් සමත් වුණා. මේ කර්තව්‍ය ඉතා සාර්ථකව ඉටුකරගන්න බොහෝ සෙයින් වෙහෙස මහන්සි ගත්තේ අපේ රටේ පත්තර මහගෙදර යනුවෙන් හඳුන්වන ලේක්හවුස් ආයතනය බව සඳහන් කළ යුතුයි. ඒ වගේම බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා සෑමවිටම අප පාසලේ දරුවන්ගේ අභිවෘද්ධිය ගැන නිරන්තරයෙන් සොයා බලා හැකි සෑම අවස්ථාවේම සහයෝගය දෙනවා. ඒ අනුව තමයි අද දවසේ මේ අතිවිශාල ධන පරිත්‍යාගය අපේ පාසලේ සංවර්ධනය වෙනුවෙන් ලැබෙන්නේ.
ඒ වගේම මේ මුදලට අමතරව අපේ පාසලේ බේස් බෝල් කණ්ඩායමේ දකුණු ආසියාතික තරගය සඳහා සුදුසුකම් ලබා තායිපේ නුවර බලා පිටත්වීමට නියමිතව සිටින ශිෂ්‍යයාට ඔහුගේ ක්‍රීඩා කෞශල්‍යය හා අභිවෘද්ධිය ඔප්නංවා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඇමැති උපදෙස් පරිදි ලේක්හවුස් ආයතනයෙන් ලබාදීම මා අගය කර සලකනවා.
අපි හොඳින් මතක තබා ගන්න ඕනෑ. රටේ මාධ්‍ය ක්ෂේත්රයේ ඉහළම තැන ඉන්න ඒ ආයතනය අපි වෙනුවෙන් ලබා දුන් මේ මූල්‍ය ධෛර්යය ශක්තිය ගැන ඒ වගේම මේ මූල්‍ය පරිත්‍යාගයෙන් අපේ පාසල සංවර්ධනය කරමින් ඉහළ ප්‍රයෝජනයට ගැනීමට හැකි අයුරින් ගොඩනැඟීමට මා බලාපොරොත්තු වෙනවා. එබැවින් එහි ඉහළම අග්‍රඵලය නෙළා ගැනීමට දුවේ පුතේ ඔබ අධ්‍යාපනයෙන් ඉහළම තැනකට යා යුතුයි”.
දකුණු ආසියාතික බේස් බෝල් තරගාවලියට අපේ රට නියෝජනය කරමින් ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ බේස් බෝල් කණ්ඩායමේ දෙවින් යස්මිත ශිෂ්‍යයාට මූල්‍ය ආධාර සහිත චෙක්පත ලබාදීම හා විද්‍යාලයේ ජාතික මට්ටමින් ජයග්‍රහණ රැසක් ලබාගත් සිසුන් හා සිසුවියන් කිහිප දෙනෙකුට සහතික පත්‍ර මෙන්ම කුසලාන ලබා දීම එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා සහ විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහතා විසින් සිදු කරන ලදී.
පාසලේ අංශ භාර නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා අංශ භාර ආචාර්යවරුන් මෙන්ම පාසලේ ගුරු භවතුන්, පාසල් සංවර්ධන සමිතියේ නිලධාරින්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, මවුපියන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
Lanka Newsweek © 2024