ඔහු ප්‍රකට සාහිත්‍යවේදියෙකි. ගත් කතුවරයෙකි. වාමාංශික ව්‍යාපාරයේ පැරණි ගමන් සගයකු ද විය. ගුණසේන විතාන මහතා වාම ධාරාවේ ලේඛකයෙකු වශයෙන් ද ප්‍රකටය. 1968 වසරේ ජනතා ලේඛක පෙරමුණ බිහි කරමින් ජනතා සාහිත්‍ය සංකල්පය ප්‍රචලිත කිරීමට ද ඔහු උත්සුක වූයේය. ඔහු ජනතා ලේඛක පෙරමුණේ ආරම්භක ලේකම්වරයාය. ජනතා ලේඛක පෙරමුණ හරහා ඔහු බලාපොරොත්තු වූයේ වැඩි දෙනෙක් සාහිත්‍යයට යොමු කර ගැනීමටයි.
එසේම ඔහුගේ ලේඛනයෙන් සිංහල, දෙමළ ජනවර්ග අතර ජාතික සමගිය ඇති කිරීම මූලිකම අභිලාෂය විය. ඒ වෙනුවෙන්ම විශාල කෘති සංඛ්‍යාවක් ලියා පළකළේය. ජාතික සමගිය පිළිබඳව සිය කෙටි කතා මඟින් පාඨකයා දැනුම්වත් කිරීමට නිරතුරුව කටයුතු කළේය. ඔහු විසින් රචිත කෘති අතර රාසම්මා , සිංහල පියකුට දාව දෙමළ මවකගේ උපන් පුත්තුන්ගේ කතා වස්තුව, ගරු මාංචු, මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ, ඊට කදිම නිදසුන්ය.
එසේම ඔහු දේශපාලන නවකතා ලිවීමට උපන් හපනෙක් ද විය. 19 සියවසේ ලෝකයේ යටත් විජිතකරණයට එරෙහිව මිනිසුන් විවිධ අරගල කළහ. එය සාහිත්‍යය ක්ෂේත්‍රය තුළත් කදිමට සිදු විය. ශ්‍රී ලංකාවේ ද නිදහසින් පසු දේශපාලන නවකතාකරණය ඇති විය. එහිදී පුරෝගාමී චරිතයක් වූයේ ගුණසේන විතාන මහතාය. 1970 දී ‘පමා නොවී වැහැපන් වැහි වලාවේ, 1971 අයියා වගේ කෙනෙක්, 1972 විප්ලවයේ කැරලිකාරයෝ, 1978 සිංහල පියකුට දාව දෙමළ පුතෙකුගේ කතා වස්තුව, 1984 බෝම්බයට රිද්මය, 1986 යාපනේට පාලමක් සහ 2009 මනුෂ්‍යත්වයට වෙඩි තබනු ලැබේ යනාදී ග්‍රන්ථ ප්‍රකාශ කළේය. එසේම ඔහු විසින් කෙටිකතා රැසක් ලියා පළ කොට ඇත.
ඒවා රුසියානු, බල්ගේරියානු සහ ජර්මන් ආදී විදෙස් සාහිත්‍යයට ද පරිවර්තනය කෙරිණි. ඔහු සිංහල කෙටිකතා ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කළ ලේඛකයෙකි. ගුණසේන මහතාගේ උපන්ගම වඳුරඹය. වදුරඹ සුන්දර ගම් පියස ඔහුගේ ලේඛන කලාවෙන් මොනවට විද්‍යමාන විය. ඔහු ඒ සම්බන්ධයෙන් වරක් පැවැසුවේ මෙවැන්නකි. “මම ගමේ කෙනෙකු විදිහට ගමෙන්ම ලබා ගත් අත්දැකීම් චරිත තුළින් නිරූපණය කළා. අපේ ගමේ හිටියා දේශපාලනඥයෙක්. මිනිහට කියන්නේ පොඩි රාලහාමි කියලා. මිනිහා මැරයා. බේබද්දා. මේ මනුෂ්‍යයාගේ චරිතය මම ‘පමා වෙලා වැහැපන් වැහි වලාවේ’ නවකතාව තුළ ගොඩනැඟීමට පිටිවහලක් කර ගත්තා. අවසානයේදී ගැමි සමාජය තුළ සිංහල උගත් තරුණ පිබිදීමක් ඇතිවෙනවා. මෙහිදී වැස්ස විමුක්තියට උපමා කරලා තියෙනවා.”
ගුණසේන විතාන මහතාගේ ඇසූ පිරූ බව, පරිචය මින් මොනවට පැහැදිලි වේ. 1970-77 පැවති සමගි පෙරමුණු රජය ගොඩනඟන්න සාහිත්‍යය ක්ෂේත්‍රය තුළින් සුවිශේෂි දායකත්වයක් මෙතුමා සැපයූවේය. ශ්‍රී ලංකාවේ ජනතා සාහිත්‍යය නම් ප්‍රවණතාවයේ එක් පුරෝගාමී චරිතයක් වන්නේ ගුණසේන විතාන මහතායි. ඒ පිළිබඳව ඔහු වරක් ප්‍රකාශ කොට ඇත්තේ මෙපරිද්දෙනි.
‘අපේ රට සමාජවාදී රටක්. අපි අපේ රට ගොඩනඟන්න ඕනේ. ලේඛකයාට පවා මේ අරමුණ තියෙන්න ඕන. ඒ අය සමාජයට ආදරය කරන්න ඕන. සමාජවාදියෙක් වෙන්න ඕන. මේ තමයි සමාජවාදී යථාර්ථය’
ඔහු ඇසූ පිරූ ලේඛකයෙකි. ලියනවාට ලියූවෙක් ද නොවේ. ඒ බැව් මෙයින් ගම්‍යමානය.
ගුණසේන විතාන මහතා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ද විය. කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ‘මව්බිම’ පුවත්පතේ හා ‘ඇත්ත’පුවත්පතේ ප්‍රධාන කතුවරයා ලෙසට ද කටයුතු කොට ඇත. එසේම ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද දිගු කලක් සේවය කොට ඇත්තෙකි.
දිවියේ අවසන් හුස්ම පොද නිමා වනතුරු ලේඛන කටයුතු වෙනුවෙන්ම තම දිවියෙන් වැඩි කොටසක් මෙහෙය වූ ඔහු විසින් රචිත අවසන් කෘතිය’ කැප්පෙටිපොලගේ සංග්‍රාමය ‘යනුවෙන් නම් කර තිබිණි. ගුණසේන විතානගේ දේහය අද (27) දින සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (28) සවස 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. පිරුණු ලේඛකයෙකු ලෙසින් තම දිවිය මෙහෙයවා හෙට දින දැයෙන් සමු ගන්නා ගුණසේන විතාන අදීන ලේඛකයාණෙනි! ඔබට අජරාමර නිවන් සුව පතමු.
Lanka Newsweek © 2024