ඉදිරි ජනාධිපතිවරණයට අදාළව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යළි මව්බිමට පැමිණීමේ රැල්ලක් නිර්මාණය වෙමින් තිබේ. එසේත් නැතිනම් එවැනි රැල්ලක් කෘතිමව නිර්මාණය කරමින් තිබේ. රෑ වැටුණු වළේ දහවල් වැටීම කලාවක් නම් ලාංකිකයන් එහි පිකාසෝලාය. අරගලයකින් වුවද, තේරුමක් නැති අවසානයකින් නිමාවූ පසුගිය වකවානුවේ පැවති දේශපාලන රැල්ලෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව දරුණු ප්‍රතිවිපාක ලබා තිබේ. ඉඳින් රෑ වැටුණු වළේ දවල් වැටිය යුතු නොවූවත්, නැවතත් ඒ ගොංකමම කිරීමට සැරසෙන බවට ඉඟි පළවෙමින් පවතී. රට අගාධයට වැටී සමස්ත වැසියන් දුක්ඛ දෝමනස්සයෙන් පෙළුණු කාලයේ රට අතහැර පලාගොසින් ආත්මාර්ථකාමී වූවන්, නව පාලන තන්ත්රය මෙසේ විය යුතු යැයි දැනමුතු කම් දීම ආරම්භ කර ඇත. පුද්ගලික න්‍යාය පත්රයන් පෙරදැරි කරගත් ඔවුන්ට ලංකාවට කුමන විනාශයක් ලැබුවද, පලක් නැත. 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩිකරවීමෙහිලා මෙවැනිම කැක්කුමකින් ක්‍රියා කළ මොවුන් ඡන්දය ප්‍රකාශ කර දිනකට දෙකකට පසු යළි රට හැර ගියහ. ඒ නිසාම කරන ලද ගොංකමේ පරිප්පුව කන්නට සිදුවූයේ මේ රටේ තවදුරටත් දෙපා තබාගෙන සිටින පිරිසටමය.
රටට පවුල් ප්‍රේෂණ එවා මේ රටේ ආර්ථිකයේ බර උසුළන විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව අපගේ මෙම අදහස් දැක්වීම පිළිබඳ වරදවා තේරුම් නොගත යුතුය. ශ්‍රී ලාංකික පවුල් ප්‍රේෂණ යනු විදේශ රැකියාවල සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් විසින් ආපසු සිය රටට එවන මුදල් ය. මෙම ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ බොහෝ පවුල් සඳහා සැලකිය යුතු ආදායම් මාර්ගයක් වන අතර රටේ ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. උදාහරණයක් ලෙස, 2021 දී ශ්‍රී ලංකාවට දළ වශයෙන් ඩොලර් බිලියන 5.5ක ප්‍රේෂණ ලැබී තිබේ. 2021 සිට මේ දක්වා වසරේ මුල් මාස 6ට පමණක් ලැබුණු පවුල් ප්‍රේෂණවල වටිනාකම මෙලෙසය. 2021 දී අ.ඩො. බිලියන 3.32, 2022 දී එය අ.ඩො. බිලියන 1.61කි. 2023 වසරේ එය අ.ඩො.බි. 2.82කි. 2024 ගෙවුණු මාස 6ට පමණක් අ.ඩො. බිලියන 3.14කි. ගෝලීය ආර්ථික තත්ත්වයන්, සංක්‍රමණ රටා වෙනස්වීම් සහ ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සේවය කරන සත්කාරක රටවල ප්‍රතිපත්ති ඇතුළු විවිධ සාධක මත පදනම්ව මෙම මුදල උච්ඡාවචනය විය හැකි නමුත් සැලකිය යුතු තීරණාත්මක කාර්යභාර්යයක් ඉටුකරන බව පොදුවේ පිළිගත හැකි කරුණකි. මේ සියල්ලටමත් වඩා තීරණාත්මක සංඛ්‍යා දත්තයන් පසුගියදා නිකුත් වූ මහ බැංකු වාර්තා මගින් අනාවරණය විය. 2024 වසරේ මුල් මාස 07 තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.71 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනය කර තිබිණි. පසුගිය ජූලි මාසයේ දී පමණක් මෙලෙස ලද ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 566.8 ක් විය. මෙලෙස 2024 මුල් මාස 07 තුළ ලද ප්‍රේෂණ වටිනාකම පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති ඩොලර් බිලියන 3.36 ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 10.3% ක ඉහළ යෑමකි.
ශ්‍රී ලංකාව 2022 වසරේ දී මුහුණ දුන් දැවැන්ත විදේශ විනිමය අර්බුදයත් සමගම ඊට විසඳුම් සෙවීම පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනකට අවතීර්ණ වූ අතර එහිදී සිව් වසරක කාලයක් පුරාවට මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිතව ඇත්තේ ඩොලර් බිලියන 3කට ආසන්න මුදලකි. ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඉතා දැවැන්ත දායකත්වයක් ලැබී ඇති බව මේ අනුව පැහැදිලි වනු ඇත. මෙවන් අනූපමේය දායකත්වයක් දක්වන ප්‍රජාවක් රැල්ලට නොයා යුතුය. තමන් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ඔවුන්ට දැක්මක් තිබිය යුතුය. නිසි තක්සේරුවක් තිබිය යුතුය. ඒ නිසාම තමන්ට හිමි ඡන්ද අයිතිය තහවුරු කරනු පිණිස ඔවුන් ක්‍රියාත්මක වීම අතිශය වැදගත්ය. වෙනත් දියුණු රටවල මෙන් ගමනාන්ත රටවල සිට මව්බිමේ තීරණාත්මක මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකිකයන්ට ඉඩ ප්‍රස්ථාවක් නොමැත. එබැවින් එවැනි අවස්ථාවක තමාට හැකි පමණින් හෝ ක්‍රියාත්මකවීම කිසිවකුටත් වාරණය කළ නොහැකි අයිතියකි. එහෙත් අප අමතක නොකළ යුතු වන්නේ තම ඡන්දයේ වටිනාකමෙන් මැනෙන්නේ තමන් පමණක් නොවන බවය. තමන්ගේ ඡන්දයේ තීරණයෙන් මුළු රටක්, රටක අනාගතයක් ගොඩනැඟෙන්නට මිස වැනසෙන්නට ක්‍රියා නොකරන්නට තරම් ඔවුන් වගබලා ගත යුතුය. විදෙස්ගත ශ්‍රමිකයන් ලෙස ඔවුන් මේ රටේ ආර්ථිකය නංවාලීමට දැවැන්ත බරක් දරනා නිසාම ඔවුන්ගේ වටිනාකම ඡන්දයක් නිසා හෑල්ලුවට පත් නොවිය යුතුය. 2019 දී ලද අත්දැකීම නැවත වරක් පුනරාවර්ථනය නොවිය යුතුමය. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ වටිනාකමත්, ගෞරවයත් තවදුරටත් ආරක්ෂා වීමට නම් ඔවුන් හදවතින් නොව ඔළුවෙන් තීන්දුවක් ගත යුතුය. හදවතට නොව බුද්ධියට මුල්තැන දිය යුතුය.
රැල්ලට යන්නන්ට නැවතී කල්පනා කරන්නට තරම් කාලවේලාවක් හෝ නිච්චියක් නොමැත. තමන් දක්කාගෙන යන්නේ කවුරුන් දැයි නොදන්නා ගව රැළක් මෙන් ඔවුන් ඒ මොහොතේ නැඟ එන රැළිවල අතරමං වෙයි. රට විරුවන් එවැනි තත්ත්වයකට ඇදනොවැටිය යුතුමය. අපට ගැළපෙන පොළොවේ පයගහපු නායකයකු කරළියට ගෙන ඒම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ඒකායන අභිමතාර්ථය විය යුතුය. එහිදී කබලෙන් ළිපට නොවැටී රට ඉදිරියට ගෙන යා හැකි අවම මට්ටමේ වත්, දෑත් පිරිසිදුව පවතින දූරදර්ශී ජනතාවාදියකු කරළියට ගෙන ආ යුතුය. සෘජු තීරණ ගැනීම, බහුතර ජනතාවගේ සුබසාධනය සඳහා සුළුතරයකගේ අමනාපභාවය තමන්ගේ ගමන්ගමට බාධාවක් කර නොගන්නා, තම පරපුර රැක ගැනීමට කත් නොඅදින සත් පුරුෂයකු කරළියට නොගෙනාවොත්, තවත් අරගලයක පෙර නිමිති දැකීමට අපට වැඩි කල් නොයනු ඇත. අරගලවලින් වෙනසක් සඳහා මංපෑදීම සිදුවිය හැකි වුවද, එය සෑම විටෙකම නොවේ. ඒ වෙනුවෙන් ජනතාවට ගෙවන්නට සිදුවන වන්දියද, සුළුපටු නොවේ. පසුගියදා ශ්‍රී ලාංකිකයන් ලෙස අප ලැබූ අත්දැකීම් යළි යළිත් සිහිපත් කළ යුත්තේ අරගලයකට පසුව වුවද, සුපුරුදු අමනෝඥ නිහඬභාවය තුළ පළ පුරුදු අවස්ථාවාදී දේශපාලනඥයන්ම යළි යළිත් කරළියේ බඩපිණුම් ගැසීමක් සිදුවිය හැකි නිසාය. ඒ සියලු තතු එසේම තිබියදී, නිවැරදි නායකයකු ප්‍රකාශ කිරීමට කදිම තෝතැන්නක් කර ගැනීමට මෙවර ජනතාවට වේදිකාවක් නිර්මාණය වී ඇති බව අප විසින් අමතක නොකළ යුතුය.
“ජනතාවාදී ලේබලය” අපට බොහෝ පැරණිය. එම ලේබලය කල් ඉකුත්වී බොහෝ කල්ය. එය නොදන්නා බඩගෝස්තරවාදීන් ඉතිහාසයේ විශාලතම ඡන්ද පත්‍රිකාවකින් අප වෙත පැමිණ තිබේ. ඇප මුදල් තැන්පත් කිරීම ටොයිස් වැඩක් නිසාම 39 දෙනකුගෙන් යුතු දීර්ඝ ඡන්ද පත්‍රිකාවක් අපට ලැබෙනු ඇත. අවසාන අර්ථයෙන් එකී කඩදාසිය දිගු වන තරමටම ඒ සඳහා ගෙවන්නට සිදුවන වියදමේ බරද, දැරිය යුත්තේ අපමය. මෙම තක්කඩි රැළ හඳුනා ගැනීමට ඔවුන්ගේ නම් ඇතුළත් එකී ඡන්ද පත්‍රිකාව පමණක් වුවද, ප්රමාණවත්ය. මන්ද යත් ඔවුන්ගේ අතිශය පුද්ගලික, පටු අරමුණු හා න්‍යාය පත්රයන් ක්‍රියාත්මක කරවා ගැනීමට දැවැන්ත ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ජනතාවකට තවත් බර පැටවීමක් කර ඇති බැවිනි. උපන් හා නූපන් අහිංසක දරුවන්ගේ ජීවිතය තවදුරටත් ඇපයට නොතබා, ඔවුන්ව පරම්පරා ගණනකට උකසට නොතබා, වැඩකටයුතු කිරීම ශ්‍රී ලාංකික අපගේ ඒකායන බලාපොරොත්තුව විය යුතුය. එහිදී පළමුවෙන්ම රැල්ලට යෑම වෙනුවට රැල්ලට එරෙහිව දෙවරක්, තෙවරක් නොව සිය දහස් වතාවක් වුවද, සිතිය යුතුය. “වළක වැටීමත් මොළයට ලාභයක්” යැයි මාඕ සේතුං වරෙක ප්‍රකාශ කරන ලද්දේ, යළි වළක නොවැටීමට අතීත පාඩම අනාගතයට මග කියන බැවිනි.
Lanka Newsweek © 2024