මේ මොහොත වෙනකොට අපි දන්නවා ලංකාවේ මෙතෙක් ජනාධිපති ධුරය නොදරපු දෙදෙනෙක් තුන්දෙනෙක්ම මේ සටන ඇතුළේ ඉන්නවා. ඒ නිසා ජනාධිපති ධුරය දරපු අය ගැන තියෙන අවිශ්වාසය නොදරපු අය ගැන නොතියා ඉන්න අපිට පුළුවන්කම තියෙනවා. සමහර විට මෙතෙක් ජනාධිපති ධුරය නොදරපු කෙනෙක් යම්කිසි විදියකින් මේ රට හදාවි කියලා අපිට හිතන්න බැරිකමකුත් නෑ. ඒ නිසා අපිට මේ මොහොතේ කෙළින්ම කියන්න බෑ මේ මිනිස්සු ඔක්කොම හොරු, නරකයි, කරන්නේ නෑ වගේ දෙයක්. මොකද හේතුව ජනාධිපතිවරණයට ආපු කෙනෙක්ට වෙන්න එපායැ ඡන්දේ දෙන්නේ. හැබැයි මේ කතාව වෙන එකක්.
අපි මේ දවස්වල දේශපාලනය ගැන ඉතා වැඩියෙන් ලිපි ලියනවා. ඒකට හේතුව තමයි මුළු රටම මේ මොහොතේ ඉන්නේ දේශපාලනික ක්‍රියාකලාපයක. දේශපාලනය කියලා කියන්නේ රටකට අවශ්‍ය දෙයක්. අපි විශ්වාස කරනවා මේ රටට ජනාධිපති කෙනෙක් පත්වුණාට පස්සේ ජනාධිපතිවරයා විසින් මේ රටේ තියෙන සියලු ප්‍රශ්න විසඳලා සුඛිතමුදිත රාජ්‍යයක් බිහිකරයි කියලා. කිසිදාක ඒක නොවුණත් ඒක අපි නැවත නැවතත් විශ්වාස කරන්න පටන් අරගන්නවා. අදත් අපි ඒක විශ්වාස කරනවා. හෙටත් විශ්වාස කරනවා. අනාගතයෙත් අපි හිතනවා යම් දවසක ඒක වෙයි කියලා. ප්ලේටෝගේ සිහින රාජ්‍යය වගේ නැත්නම් උටෝපීය කොමියුනිස්ට්වාදය වගේ සිහින දකින අපිට හිතෙනවා කවදා හරි දවසක මේ හැම දේම හොඳ වෙයි කියලා එහෙම නොවුණට. හැබැයි අපේ යටි හිත ඇතුළේ තියෙනවා මේ හැමෝම අපිව රවට්ටාවි කියන පොඩි විශ්වාසෙකුත්. ඒත් යටි හිත ඇතුළේ ඉන්න කවුරි හරි කෙනෙක් නිතරම කරදර කරනවා අනේ එහෙම හිතන්න එපා ඒගොල්ලෝ හරි හොඳයි, ඒගොල්ලෝ ඔයාගේ රට හදයි, ඒගොල්ලෝ ඔයාට උදව් කරයි වගේ එකක්. ඉතින් ඒවා ගැන විශ්වාස තියමින් අපි මේ රටේ දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න සූදානමින් ඉන්නවා.
දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ වේදිකාව, සමගි ජන බලවේගයේ වේදිකාව, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාව, පොහොට්ටුවේ වේදිකාව මේ හැම එකම මිශ්‍ර වෙලා තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් කියන ප්‍රධාන පක්ෂ දෙක දැන් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාමමාත්‍ර නායකයා වෙච්ච මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වෙලාවේ කාටවත් සහාය දක්වන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා. ඒකේ තව පැත්තක පරම්පරාගත නායකත්වයක් ගැන අදහසක් තියෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. පොහොට්ටුවේ නියමුවා විදියට අපි සලකන මහින්ද රාජපක්ෂ මහත්තයත් ඉන්නේ වෙන පැත්තක. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ මේ මොහොතේ නායකයා විදියට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දෙට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම සමගි ජන බලවේගයේ නායකයා වෙච්ච සජිත් ප්‍රේමදාස මහත්තයත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වෙච්ච අනුර කුමාර දිසානායක මහත්තයත් ඡන්දෙට ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා මේ ඡන්දේ බොහොම තීරණාත්මක බව අපට තේරෙනවා. සමහර පක්ෂ ඉන්නේ අඩියක් පස්සට අරගෙන ටිකක් නතර වෙලා. ඒ නිසා කියන්න බෑ මොකක්ද වෙන්නේ කියලා.
කොහොම වුණත් දැන් අපි දකිනවා රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය විසින් කියනවා සජිත් ප්‍රේමදාස පාර්ශ්වයේ විශාල පිරිසක් තමන්ගේ පැත්තට ඇවිල්ලා කියලා. 15 දෙනෙක්ගේ නම් කියනවා ඒගොල්ලෝ. සමහර විට මේ ලිපිය ලියන දවසින් පස්සෙත් සමහර අය එයි, යයි. ඒ ගැන පූර්ව නිගමනවලට එන්න බෑ. එහෙන් මෙහෙන් කනින් කොනින් වටින් පිටින් ආරංචි වෙන දේවලුත් තියෙනවා මේ ලියන මොහොත වෙද්දීත්. සමහර නම් ගැන, ඒවා කොහොම කොහෙට යයිද, මොනවා වෙයිද කියන්න අපි දන්නේ නැති දේවල්.
දැන් ඔය 15 දෙනාගේ කතාව ඇත්තක්ද? මේ කණ්ඩායමක් ගැන කියනකොට මේ කණ්ඩායම ඇත්තටම ආවේ කවද්ද? ඒ අය ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ. ඒගොල්ලෝ ආවේ 20 වැනි සංශෝධනයට අත උස්සලා, ඒ අය විවිධ පක්ෂ නියෝජනය කරපු කට්ටිය. උදාහරණයක් විදියට ගත්තම අලි සබි්‍ර රහීම් වගේ මහත්තුරු. ඒ වගේම සජබයෙන් පාර්ලිමේන්තුවට ආපු ඩයනා ගමගේ, නසීර් අහමඩ්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම්. හාරිස්, අලි සබි්‍ර රහීම්, අරවින්ද් කුමාර්, ඉෂාක් රහුමාන් එදා ගෝඨා 21 වැනි සංශෝධනය ගෙනෙද්දී අත් උස්සලා ආණ්ඩුවට ගියා. ඒ 2020 ඔක්තෝබර් 22. ඒ කියන්නේ මීට අවුරුදු 4කට කලින්. ඊට පස්සේ හරීන් හා මනුෂ ගෝඨා ජනාධිපති වෙලා ඉද්දීම ආණ්ඩුවට ගිහින් ගෝඨාගේ අතින් ඇමැතිකම් ගත්තා. වඩිවේල් සුරේෂුත් ඒ එක්කම ආණ්ඩුවට ගියා.
ඒගොල්ලෝ විවිධාකාරයේ මුස්ලිම් ජන කණ්ඩායම්, මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සමගි ජන බලවේගය එක්ක එකතු වෙලා ඡන්දේ ඉල්ලලා ඉන් ඉවත් වෙලා ගිහින්. ඒ වගේම අපි දන්නවා මේ මොහොතේ ලංකාවේ දේශපාලනයට ක්‍රියාකාරීව වැඩකරන සරත් ෆොන්සේකා. සරත් ෆොන්සේකා ඇත්තටම එහෙම අයින් වෙලා ආපු එක්කෙනෙක්. ඒක අපට විශ්වාසයෙන්ම කියන්න පුළුවන් ඔහු එහෙම ආවා කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සරත් ෆොන්සේකා මහත්තයා ආවේ රනිල් වික්‍රමසිංහට සහාය දක්වන්න නෙවෙයි, සරත් ෆොන්සේකා ආවේ සරත් ෆොන්සේකාට සහාය දක්වන්න.
දැන් සරත් ෆොන්සේකා ඉන්නේ සරත් ෆොන්සේකාගේම දේශපාලන වේදිකාවක. ඒක කොච්චර සාර්ථකයිද කියන්න අපි දන්නේ නෑ. ඒත් ඒක ඔහුගේම දේශපාලන වේදිකාවක්. දැන් ඔහු ඒකට වෙලා තමන්ගේ දේශපාලන ගේම් එක ගහගෙන ඉන්නවා. ඒ වගේම ෆවුසි එන්නේ මුජිබර් ඉවත් වීමත් එක්ක. හැබැයි ෆවුසි කෙළින්ම රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙනවා. ඔහු එදා ඉඳන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක තමයි හිටියේ. ඔහුට විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයත් එක්ක එකතු වුණා කියලා විශේෂ දීගයක් නෑ. ඒ වගේම කුමාර වෙල්ගම. කුමාර වෙල්ගම කියලා කියන්නෙත් මේ මොහොතේදී ඍජුවම රනිල් වික්‍රමසිංහ මහත්තයට සහාය දක්වන කෙනෙක්. වහෙන් ඔරෝ නෙවෙයි, කොලේ වහලා නෙවෙයි. කුමාර වෙල්ගම මහත්තයගෙත් දේශපාලන ක්‍රියාකාරීත්වය ගත්තාම ඔහු ශුද්ධ එක්සත් ජාතික පාක්ෂිකයෙකුත් නෙවෙයි. ඔහු සමගි ජන බලවේගයත් එක්ක වැඩ කරපු බව ඇත්ත. නමුත් ඔහුට එක වෙලාවක තියෙනවා ප්‍රශ්නයක්. ඔහුගේ පක්ෂයෙන් ඔහුව නෙරපා හැරීමක් සහ ඇතිවෙච්ච ගැටුමක්. ඒ නිසා තමයි ඔහු එළියට බහින්නේ.
අනිත් එක්කෙනා රාජිත. රාජිත සේනාරත්න කියලා කියන්නේ ලංකාවේ හැමදාම වගේ ඇමැතිකම් දරපු කෙනෙක්. ඔහුටත් විශාල ප්‍රශ්නයක් තිබුණා. මේ වගේ කීප දෙනෙක් විතරයි මේ විදියට ආවා කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව මේ ආවා ආවා කියන අය ආවේ කවද්ද, ආවේ මොකටද? ප්‍රධාන වශයෙන් මේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දක්වන්නද? එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් හින්දද කියලා හොයලා බලලා ආපු අය ආවේ කොහොමද කියන එක හොයලා බලලා හරි කාරණාව තේරුම් අරගත යුතුයි. එහෙම නැත්නම් දේශපාලනික වශයෙන් අපට වෙන්නේ මුළා වෙන්න. එහෙම නැත්නම් අන්ධ වෙන්න. එහෙම වෙලා බෑ.
Lanka Newsweek © 2024