Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


පිල්ලියක් වූ පොහොට්ටුව 


2024-08-24 14383

 

(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

පොහොට්ටුව යනු ඡන්ද ලකුණකි. පිල්ලියක් යනු කෙනෙකුට සෙත සෑදීමට මෙන් වෙස් වලාගෙන පැමිණ එම තැනැත්තා සමග වෙසෙමින් එහෙත් කල්යල් බලා එම තැනැත්තා විනාස කරනු පිණිස ක්‍රියාකරන ප්‍රපංචයකි. ජනප්‍රවාදයට අනුව බල්ලන් බළලුන් වැනි ප්‍රාණීන් එසේ පිල්ලි ලෙස එවනු ලැබේ. පොහොට්ටුව අප්‍රාණික ලකුණක් වුවද එය පක්‍ෂයක සාමාජිකයන්ගේ සැදුම් ලත් බැවින් පණ ඇති වස්තුවක් වේ. මෙම ලිපියෙන් විමසා බලනු ලබන්නේ පොහොට්ටුව පිල්ලියක් වූවාද එසේ නම් ඒ කෙසේද යන්නයි. 

එතෙක් මෙතෙක් කාලය තුළ සුන්දරම දේශපාලන පක්ෂ ලාංඡනය ලෙස පොහොට්ටුව රාජපක්ෂවරුන් කරා ආවේය. ඡන්ද දායකයන් ඊට මහත් ඇල්මක් දැක්වූ බැවින් ඉතා කෙටි කලකින්ම මිලියන ගණනින් සාමාජිකයන් වශී කර ගැනීමට සමත්විය. එමගින් රාජපක්ෂවරු පලාත්පාලන මැතිවරණයට ඉදිරිපත් කොට අති බහුතර බලයක් ලබා දුන්නේය. ඉන් පසු පැමිණි ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයක් ඡන්ද ලබා ගැනීමට සලස්වා ජනාධිපතිවරයෙකු පත්කර දෙනු ලැබීය. නොබෝ කලකින් පැමිණි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයක් ද ලබා දුන්නේය. පොහොට්ටුව රාජපක්ෂවරුන්ට උපරිම ලෙස සලකා දේශපාලයේ හිනිපෙත්තටම රැගෙන ගියේය. 

පොහොට්ටුව තුළ සැඟව සිටි පිල්ලිය රාජපක්ෂවරුන් බිමට ඇද දැමීමට වහා ක්‍රියාත්ම වන්නට පටන්ගත්තේය. පිල්ලිය විසින් ජනාධිපතිවරයාගේත් කැබිනට් මණ්ඩලයේත් ඔලු විකෘති කිරීම ආරම්භ කරන ලදී. පිල්ලිය කාබනික පොහොර පිස්සුවක් ජනාධිපතිවරයාගේත් කැබිනට් මණ්ඩලයේත් ඔලු තුළ තැන්පත් කළේය. භාණ්ඩාගාරය දිනෙන් දින හිස්වන බව ඔවුන්ට වසං කළේය. විදේශ විනිමය සංචිත හිඳී යන බව අමතක කෙරෙව්වේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට ඇති මං ඇවුරුවේය. වෙන වෙන දිසාවල අවිද්ද්ව්වේය. වෙළඳපොල කඩා වැට්ටුවේය. ආර්ථිකය අර්බුදයෙන් අර්බුදයට කෙරෙව්වේය. මහජනයා මහපාරට ඇද දැම්මේය. කැරැලි ගැස්සේව්වේය. ජනාධිපති එළවා දැම්මේය. ඔහු තැනින් තැන අවිද්දෙව්වේය. අසරණ කෙරුවේය. අගමැති, මුදල් ඇමති, සහ රාජපක්ෂ පෙළපතින් ආ සියලු ඇමතිවරුන් තනතුරුවලින් පහකෙරෙව්වේය. රට අරාජික කෙරෙව්වේය. 

පිල්ලිය එතැනින් නැවතුනේ නැත. රාජපක්ෂවරුන්ගේත් ඔවුන්ගේ හිතවතුන්ගේත් ගවල් ගිනි තිබ්බේය. දේපොළ විනාස කළේය. පාක්ෂිකයන්ගේ ජීවිත ජීවිත බිලිගත්තේය. දියේ ගිල්වා මරන්නට ක්‍රියාකළේය. පාක්ෂිකයන් පරාණ බයේ තැන තැන අවිද්දෙව්වේය. පවුල් පිටින් යන එන තැන් නැතිව අනාරක්‍ෂිත කළේය. රාජපක්ෂ පවුල මර බයට පත් කෙරෙව්වේය. හැංගී ජීවත් වීමට සැලස්සෙව්වේය. රටින් පැනයාමට සැලස්සෙව්වේය. පිල්ලිය විසින් නොදුන් වදයක් නොවීය. රාජපක්‍ෂ ප්‍රතිවාදියා ජනාධිපති කෙරෙව්වේය. සිය මන්ත්‍රීවරුන් ප්‍රතිවාදියාගේ වසඟයටත් යටතටත් පත්කෙරෙව්වේය. එමගින් රාජපක්‍ෂ ඔද තෙද බිඳ දැම්මේය. කීර්තිය මකා දැම්මේය. ඔවුන් ප්‍රතිවාදියාගෙන් යැපෙන යාචකයන් බවට පත්කෙරෙව්වේය.

ඉන් පසු පොහොට්ටු පක්ෂය දෙකඩ කෙරෙව්වේය. මැති ඇමතිවරුන් 100කට වඩා පක්ෂයෙන් එලෙව්වේය. පොඩ්ඩෙකු පොහොට්ටුවේ ප්‍රධානියෙකු කරවා ජනාධිපති අපේක්ෂකයෙකු ද කෙරෙව්වේය. එසේ කළේ රාජපක්‍ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීම පිණිසය. පාක්ෂිකයන්ගේ සිත් බිදවා  රාජපක්‍ෂ හිතෛෂීන්  රාජපක්ෂ සතුරන් බවට පත්කෙරෙව්වේය. 

රාජපක්ෂවරුන්ට මේ සියලු දුක් දොම්නස් දී ඉනුදු නොනැවතුනු පිල්ලිය පොහොට්ටු පක්ෂය කඩා දමා ඡන්ද දෙතුන් ගොඩකට බෙදා ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ඡන්ද ඒ මේ අත විසුරුවා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය විනාස කර දැමීමට ද පියවර ගත්තේය. පෙර වැරදි නිසා පොලිස් රිපෝර්ට් එකක්වත් ලබාගැනීමට නොහැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකල්පවලින් හෙබි පක්ෂයකට එමගින් ආණ්ඩු බලය මාරු කිරීමට ඉඩ සලස්වමින් සිටින්නේය. පිල්ලියේ දරුණුකම කොතෙක් ද කියතොත් එය  රාජපක්ෂවරුන් හා පොහොට්ටු සාමාජිකයන් පමණක් නොව ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් ඡන්දය දෙන සියලු දෙනා ද ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා රාජ්‍යය ද දංගෙඩියට දක්කමින් සිටින්නේය. 

පොහොට්ටුව රාජපක්ෂවරුන්ට පිල්ලියක් වී හමාරය. එහෙත් එය ලංකා රාජ්‍යයට පිල්ලියක් වීමට ඉඩ නොතැබීමට ඡන්ද දායකයා බුද්ධිමත් විය යුතුය.

 

Advertiesment