Monday 14th of October 2024

English Tamil
Advertiesment


උදෑසන ඇතිවෙන විළුඹේ වේදනාව


2024-08-24 14336


උදෑසන අවදිවී කකුල බිම තබා අඩිය තියන මුල් පියවර ඔබට වේදනාකාරී ද? ටිකක් ඇවිදින විට ක්‍රමයෙන් අඩු වී යනවද? ඒ වගේම වාඩිවී සිට නැගිට යද්දි විළුඹේ අපහසුවක් දැනෙනවද? මේ තත්ත්වය ඉතා සුලබ රෝග තත්ත්වයක් වන වාත කණ්ඨක රෝගය ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ හඳුන්වයි.

විෂම පෘෂ්ඨ මත ඇවිදීම, වෙහෙසකර ව්‍යායාම කිරීම ආදිය නිසා ඉතා තීව්‍ර වූ වේදනාවක් ගුල්ප සන්ධිය හෙවත් වළලුකර සන්ධිය යටින් ඇතිවීම වාත කණ්ඨක රෝගය ලෙස හඳුන්වයි. භයානක තත්ත්වයක් නොවන නමුත් නොසලකා හැරීම තුළින් රෝගය තීව්‍ර විය හැකි නිසා මුල් අවස්ථාවේම ප්‍රතිකාර කිරීමෙන් පහසුවෙන් සුව කරගත හැකියි.

ඒ සඳහා නිවසේදී කරගත හැකි සරල ප්‍රතිකාර රාශියක් තිබේ . නමුත් මෙම රෝගී තත්ත්වය නිවැරදිව හඳුනාගැනීම තුළින් එය ඇතිවීමට හේතු වළක්වා ගැනීම වැදගත්.

නව්‍ය වෛද්‍ය ක්‍රමයේ දී මෙම වේදනාව සඳහා හේතු රැසක් බලපාන බව දක්වා ඇතත් plantar fasciaitis නම් තත්ත්වය විළුඹ වේදනාවට ප්‍රධාන හේතුවක් වන බව සඳහන් කරයි. ඊට අමතරව achilis tendinitis හෙවත් විළුඹ පිටුපස සම්බන්ධක පටකයේ ආසාදන තත්ත්වයත් විළුඹ සාදන අස්ථි ඇතිවන භග්න වීම් සහ එම කොටසට සංවේදන සපයන ස්නායුවල තදවීම් නිසාද මෙම තත්ත්වය ඇතිවිය හැකියි.

මේ සඳහා ප්‍රධාන හේතු වශයෙන් සලකනු ලබන plantar fasciaitis තත්ත්වය සහ achilis tendinitis යන දෙකම වාත කණ්ඨක හා මනාව සැස‍ඳෙන රෝගී තත්ත්වයක්. දේශීය ප්‍රතිකාර තුළින් මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

Plantar fascia යනු විළුඹ සාදන අස්ථිය සහ ඇඟිලි සාදන අස්ථි අතර සම්බන්ධතාවය ඇතිකරන සම්බන්ධක පටකයයි. පාදයේ ඇති ස්වභාවික වක්‍ර පවත්වාගෙන යාමටත් ඇවිදීමේදී පාදයේ ඇතිවන කම්පන අවශෝෂණයටත් මෙය උපකාර වෙයි. මෙම සම්බන්ධක පටකයට ඇතිවන යම්කිසි හානි වීමක්, ඉරීමක් වැනි තත්ත්වයක් නිසා ඇතිවන ප්‍රදාහය (inflamation) නිසා මෙම වේදනාව ඇතිවන බව සලකනු ලබන නමුත් නිශ්චිත කරුණක් තවම සඳහන්ව නැහැ.

මෙහිදී අනින්නාක් බඳු වේදනාවක් විළුඹ පහළ කොටසේ ඇතිවන අතර රෝගියා උදෑසන අවධි වන විටදී මෙන්ම දිගු වේලාවක් වාඩි වී සිට නැගිට ඇවිදින විටදී වේදනාව තීව්‍ර වී ක්‍රමයෙන් අඩුවී යයි. නමුත් කල් ගතවත්ම මෙම තත්ත්වයන් දවස පුරා වුවද පැවතිය හැකියි. එබැවින් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවීම උචිත වන අතර කල්ගතවත්ම විළුඹ අස්ථියට ද මෙම තත්ත්වය බලපෑම තුළින් එම අස්ථි කටුවක් මෙන් අධි වර්ධනයක් දැක ගත හැකි වන අතර මෙය කැල්කේනියම් ස්පර් (calcaneum spur) ලෙසින් හඳුන්වයි. එක්ස් කිරණ ඡායාරූපයක් මගින් මෙය හොඳින් දර්ශනය කරගත හැකියි.

මෙම අධි වර්ධනය නිසා තවදුරටත් අවට පටක පීඩාවට පත්වීම තුළින් දවස පුරා ඇතිවන තද වේදනාව, දැවිල්ල, ඉදිමුම් පවා හටගන්නා එබැවින් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

 

බලපාන හේතු

 

 වයස

වයසත් සමග මෙම රෝග තත්ත්වය වැඩි බවක් නිරීක්ෂණය වන අතර විශේෂයෙන් වයස අවුරුදු 40-60 අතර පුද්ගලයන් තුළ මෙම තත්ත්වය වඩාත් සුලභව දක්නට ලැබෙයි

 ව්‍යායාම

පාදය ඇදෙන ලෙස ව්‍යායාම කරන පුද්ගලයන්, විශේෂයෙන් ක්‍රීඩකයන් නර්තන ශිල්පීන් සහ වැඩිපුර ඇවිදින පුද්ගලයන් අතර මෙම තත්ත්වය බහුලව දක්නට පුළුවන්.

 ස්ථූල භාවය, ගර්භණී භාවය

අධික බරක් පාදය මත දරා සිටීමට සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි නිසා ස්ථූල අය සහ ගර්භණී අය අතර මෙම තත්ත්වය දක්නට ලැබෙයි.

 රැකියාවේ ස්වභාවය

වැඩි වේලාවක් සිටගෙන සිටින හෝ ඇවිදීමට සිදුවන රැකියාවල නියුතු අයටද, උස් පාවහන් පලඳින අයටද මේ තත්ත්වය ඇතිවීමේ හැකියාව ඇත.

 

ප්‍රතිකාර

 

මේ සඳහා අභ්‍යන්තර ඖෂධ මෙන්ම ස්ථානිකව කෙරෙන බාහිර ඖෂධද යොදාගත හැකියි. මෙය සති දෙකක් හෝ තුනක් අඛණ්ඩව සිදු කිරීමෙන් සම්පූර්ණ සුවය ලබාගත හැකි රෝග තත්ත්වයක් වාතකණ්ඨක රෝගය සඳහා නිවසේදී ඔබටම කරගත හැකි සරල පිළියම් කීපයක් මේ.

 

 අවගාහ ස්වේද කිරීම

 

මඳ උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් දමා දෙපා ඒ තුළ බහා විනාඩි විස්සක් පමණ තැබීම.

මෙහිදී උණුසුම් ජලය වෙනුවට මඳ උණුසුම් ඖෂධීය ජලය යොදා ගන්නේ නම් එය වඩාත් උචිතයි. ඒ සඳහා වෙනිවැල්ගැට තැම්බූ වතුර හීන් අරත්ත අල තැම්බූ වතුර, ගොරකා ස්වල්පයක් දමා තැම්බූ වතුර යොදාගත හැකියි.

 

ඖෂධීය තෙල් වර්ග යටි පතුලේ ගැල්වීම සහ බැඳ තැබීම

 

උණුසුම් අවගාහ ස්වේදයෙන් පසු සීතෝදක, පින්ඩ වැනි ඖෂධීය තෙල් වර්ගයක් යටි පතුලෙහි ගල්වා පසුව එම තෙල් පුළුන් හෝ ගෝස් වල පොඟවා යටි පතුලට තබා බැඳීම සිදුකළ හැකියි. එක දිගටම දින කිහිපයක් කිරීම තුළින් මුල් අවස්ථාවේදී නම් සම්පූර්ණ සුවය ලබාගත හැකියි.

 

ඖෂධීය ආලේප වර්ග යටිපතුලට තබා බැඳීම

 

ප්‍රදාහ නාශක, වේදනා ශමන ඖෂධීය ද්‍රව්‍ය අඹරා සාදා ගත් ඖෂධීය ආලේප යටි පතුලට තබා බැඳීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. ඒ සඳහා අමු කහ, හාතාවාරිය අල, ඉරමුසුමුල්, බැලතණ ආදී ඖෂධ එකට අඹරා යටිපතුලට තබා බැඳීම සිදුකරන්න.

ඉහත සඳහන් සරල ප්‍රතිකාර වලින් සාර්ථක ප්‍රතිඵල අත් නොවන පුද්ගලයන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවා. එය චිකිත්සීය දහන කර්ම ලෙස ශල්‍ය තන්ත්‍රයේ හඳුන්වනවා. එහිදී කෙටි කලක් තුළ රෝගය සම්පූර්ණව සුවපත් වන අතර නැවත නැවත ඇතිවීමද වැළකෙනවා. එබැවින් එවැනි රෝගීන්ට ළඟම ඇති රජයේ ආයුර්වේද රෝහලක සුදුසුකම් ලත් වෛද්‍යවරුන් මගින් ප්‍රතිකාර ලබාගෙන සම්පූර්ණ සුවය අත් කර ගත හැකියි.

 
වෛද්‍ය නිලංකා පතිරණ
ප්‍රධාන වෛද්‍ය නිලධාරී
ශල්‍ය අංශය
බස්නාහිර පළාත් ආයුර්වේද රෝහල
මීගොඩ
Advertiesment