Monday 14th of October 2024

English Tamil
Advertiesment


පුංචි පුංචි අනතුරු සඳහා සුලු ප්‍රතිකාර 


2024-08-24 14368

උත්සව සමයේ විනෝද වන අතරේ අප අපගේ පරිස්සම පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වැදගත්. මොන තරම් සතුටු වූනත් පොඩි පොඩි අතපසුවීම් මත ඕනෑම මොහොතක අනතුරුවලට භාජනය වීමට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසා ගෙදර දොරේ වැඩ කරන විට වගේම විනෝද වන අතරේ සිදුවන තුවාල වීම් වගේම ලෙඩ රෝග වලට සුළු ප්‍රතිකාර කර ගැනීමට දැන සිටීමත් වැදගත්

පිලිස්සුම් තුවාල

අවුරුදු කාලේ කැවිලි පෙවිලි පිළියෙල කරන විට බොහෝ වෙලාවට ගනුදෙනු කරන්නෙ තෙල් තාච්චියත් එක්ක. ඒ වගේම ගිනිකෙළි සෙල්ලම් කියන්නේ අවුරුදු කාලෙට නැතුවම බැරි දෙයක්. මේ දේවල් නිසා බොහෝ විට පිලිස්සුම් තුවාල ඇතිවීමට හැකියි. එවැනි වෙලාවට කළ යුතු හොඳම දේ දැන සිටීම වැදගත් වෙනවා.

ප්‍රථමයෙන්ම පිලිස්සුනු තුවාලයකට සිදුකළ යුත්තේ එම ස්ථානය සිසිල් ජලයෙන් තෙමීමයි. පිලිස්සුන ස්ථානයට ගලා යන ජලය ඒකාකාරීව විනාඩි තුනක් පහක් පමණ වත්කිරීම කරන්න. එම ස්ථානයේ අධික උෂ්ණත්වය පහව යනතෙක් එසේ කරන්න.

තුවාලයේ ප්‍රබලතාවය අනුව ප්‍රතිකාර වෙනස්. වඩා නොගැඹුරු තුවාලයක් නම් නිවසේදීම අපට ඒ සඳහා පිළියම් යෙදිය හැකියි.

උත්සව සමයේ විනෝද වන අතරේ අප අපගේ පරිස්සම පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වැදගත්. මොන තරම් සතුටු වූනත් පොඩි පොඩි අතපසුවීම් මත ඕනෑම මොහොතක අනතුරුවලට භාජනය වීමට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසා ගෙදර දොරේ වැඩ කරන විට වගේම විනෝද වන අතරේ සිදුවන තුවාල වීම් වගේම ලෙඩ රෝග වලට සුළු ප්‍රතිකාර කර ගැනීමට දැන සිටීමත් වැදගත්

අලුත් තුවාල සඳහා ප්‍රතිකාර

වැටීමකින් ඇතිවන තුවාලයකදී ප්‍රථමයෙන්ම එම ස්ථානය සෝදා පිරිසිදු කළ යුතුයි. තුවාලය අවට වැලි දූවිලි විෂබීජ ඉවත් කිරීම සඳහා මුලින්ම පිරිසිදු ජලයෙන් හෝ විෂබීජ නාශක සබන් වර්ගයක් යොදා සේදීම කළ හැකි . නමුත් මෙම සේදීම සඳහාද ඖෂධීය සේදුම්කාරකයක් යොදා ගන්නේ නම් තුවාලය සුවවීම ඉක්මන් කර ගත හැකියි . මේ සඳහා නිවසේදී පහසුවෙන් සකසා ගත හැකි ඖෂධයක් නම්,

අමු කහ, නිදිකුම්බා පඳුරක්, කොහොඹ ඉති කිහිපයක් ,ගංසූරිය කොළ කිහිපයක් දමා තැම්බූ ජලයයි. මෙය ඉතා හොඳ ඖෂධීය විෂබීජ නාශක දියරයක් නිසා එයින් විෂ බීජ ඉවත්වනවා සේම තුවාලය සුවවීමද ඉක්මන් කරනවා

ඊට අමතරව නුග පොතු, බෝ පොතු, අට්ටික්කාපොතු, මාදම්පොතු වැනි ශාකවල පොතු තැම්බූ ජලයෙන් සේදීම ද ඉතාමත් ගුණදායකයි. සියලූම ද්‍රව්‍ය හෝ ද්‍රව්‍ය දෙකක් තුනක් පමණක් හෝ යොදාගත හැකියි.

නමුත් සෑම විටම මෙම තුවාලය නිවසේදී සුව කර ගත හැකි මට්ටමේ තුවාලයක් ද යන්න සොයා බැලිය යුතුයි. (ගැඹුරු තුවාල සඳහා අධිකව රුධිරය වහනය වන තුවාල සඳහා අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි) එසේ නොවන සුළු කැපීම් සීරීම් සඳහා නිවසේදීම සිදුකළ හැකි ප්‍රතිකර්ම කීපයක් මෙසේය

 

 

කෝමාරිකා

පිලිස්සුම් තුවාල සඳහා කොමාරිකා ඉතා විශිෂ්ටයි කෝමාරිකා මදය කිරිහැර ගෙන පිලිස්සුම් තුවාලය මත ඒකාකාරීව ආලේප කරන්න. එසේ නොමැති නම් කෝමාරිකා මදය පිළිස්සුම් තුවාලය මත බුරුල්ව තබා ගන්න.

කෝමාරිකා මදය තුවාල සුව කිරීම සඳහා ඉතා ගුණදායකයි. පොත්ත ඉවත්කර ගත් කෝමාරිකා මදය තුවාලයට තබා බැඳීම තුළින් තුවාලය ඉක්මනින් සුවවනු ලබනවා

මෙම කෝමාරිකා මගින් තුවාල ආසාදනය වීම වළක්වන අතර දැවිල්ල අඩුකරයි. වේදනාව සමනය කරයි. තුවාලය සුව වෙන තෙක් කිහිප වතාවක් මෙසේ කළ හැකියි.

එළඟි තෙල්

පිලිස්සුම් තුවාල සඳහා එළඟි තෙල් ආලේප කිරීමද සිදු කළ හැකියි. එළඟි තෙල් ආලේප කිරීම තුළින් ස්ථානික ප්‍රදාහය අඩුවීම දැවිල්ල වේදනාව සමනය කරයි. තුවාලයද සුව කරයි. දිනකට කිහිප වතාව බැගින් තුවාලය සුවවන තෙක්ම සිදු කළ යුතුයි.

මී පැණි

ස්වභාවික මී පැණි තුවාල සඳහා අනර්ඝ ඖෂධයක්. තුවාලයට මී පැණි දැමීම තුළින් තුවාලය සහ ස්වභාවික පරිසරය වෙන් කරන ස්තරයක් ලෙස මෙම මී පැණි ක්‍රියා කිරීමෙන් බාහිර විෂබීජ තුවාලයට තවදුරටත් ඇතුළු වීම වැළැක්වෙනවා. ඒ තුළින් තුවාලය පැසවීමකට ලක්වීම නවතා දමනවා. ඊට අමතරව

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන මී පැණි පිලිස්සුම් තුවාල සඳහා ඉතා ගුණදායකයි..

ස්වභාවික ප්‍රතිජීවක ඖෂධයක් වන මී පැණි සමේ පී.එච්. අගය සමතුලිත කරයි. අඩංගු සංඝටක තුළින් තුවාලය වේගයෙන් සුව අතට පත් කරයි. විස බීජ ඇතුළු වීම මී පැණි ආලේපය තුළින් වැළකේ. දිනකට කීප වතාවක් සිදු කළ යුතුයි.

ඖෂධීය තෙල් වර්ග ආලේපය

පිලිස්සුනු තුවාල සඳහා ඖෂධීය තෙල් වර්ගයක් වන නීල්‍යාදී තෛලය, සීතෝදක තෛලය යන ඖෂධ ඉතා ගුණදායකයි. ස්ථානිකව ඇති තද දැවිල්ල සමනය කරයි. ප්‍රදාහය නැති කර තුවාලය සුව අතට පත්කරයි. සම්පූර්ණ සුව වෙන තෙක් කිහිප දිනක් කළ යුතුයි.

තුවාල සඳහා ඉහත ඖෂධ ඉතාමත් ගුණදායක ප්‍රත්‍යක්ෂ ඖෂධය වන බැවින් නිවසේ තබා ගැනීම යෝග්‍යයි.

මී පැණි වල තියෙන ප්‍රතිඔක්සි කාරක ගුණ සහ එහි අඩංගු විටමින් වර්ගවලින් මෙම තුවාලය ඉක්මනින් සුව කරනු ලබනවා.

 

 

එළඟි තෙල් සහ මී පැණි

සමානව මිශ්‍ර කරගත් එළඟි තෙල් සහ මී පැණි අතීතයේ සිට ආයුර්වේදයේ ශල්‍යකර්මවලදී තුවාල සුව කිරීම සඳහා යොදා ගන්නා ලද ඖෂධයක් . මෙම සුසංයෝගය තුළින් තුවාල වහා සුව කරනු ලබනවා. ප්‍රධාන ආසන ගුණය පවතිනවා. ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරනවා

කහ සහ මී පැණි

කහ කුඩු සමග මී මී පැණි මිශ්‍ර කර තුවාල ප්‍රදේශයේ ආලේප කර බන්ධනය යෙදීමෙන් තුවාලය ඉක්මනින් සුව කරනවා. කහවල පවතින විෂබීජ නාශක ගුණයත් මී පැණිවල පවතින ගුණත් එකතුවෙන් තුවාල පහසුවෙන් සුවකරනවා.

තැල්ම සඳහා

වැටීමකින් පසුව ඇති වූ තැල්ම සඳහා අස්ථිවලට හානියක් සිදුවී නොමැති නම් නිවසේදීම සිදුකළ හැකි සරල ප්‍රතිකාරයක් කල හැකියි . තැල්ම ඇති ස්ථානය සිසිල් දියෙන් නොතෙමීමට වග බලා ගත යුතුයි.

ප්‍රථමයෙන් තැල්ම ඇති ස්ථානය සුදුසු තෙල් වර්ගයක් දමා බුරුල්ව අභ්‍යංග කරන්න.

ඉන්පසු සුදුසු තෙල් වර්ගයක් මැල්ලුම් වර්ගයක් හෝ පත්තු වර්ගයක් අදාළ ස්ථානයේ තබා ගැට ගැසීම (bandage) කළ හැකිය.

තෛල වර්ග යොදාගන්නේ නම් මේ සඳහා,

                                                                       නීලයාදී තෙල

                                                                       මහා තුවාල තෙල

                                                                       සීතෝදක තෙල

 

එසේ නොමැති නම් පාවට්ටා ගසේ පංචාංගය කොටා තල තෙලින් මලවා අදාළ ස්ථානයේ තබා බඳින්න. සුව වන තෙක් මෙය දිගින් දිගට කළ යුතුයි. තවදුරටත් ගැටලුව පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

බඩේ අමාරුව

නිතර නිතර ආහාර ගැනීම සහ වැඩිපුර ආහාර ගැනීම, තෙල් පිටි සීනි ආහාර වැඩිපුර ගැනීම හේතුවෙන් ඇතිවන අජීර්ණය සඳහා නිවසේදීම සකසා ගත හැකි ඖෂධ මෙසේය.

අමු ඉඟුරු තේ හැඳි එකයි, දෙහි යුෂ තේ හැඳි එකයි , මී පැණි තේ හැඳි එකයි මිශ්‍ර කරන්න පැය හයකට වරක් පානය කිරන්න.

දෙහි පෙති කීපයක් ලුණු ගම්මිරිස් ඇට හතරක් පහක් පමණ සුදුලූනු බිකක් පමණ එකට මිශ්‍ර කර කොටා තේ හැඳි එකක් අනුභවය කිරීම

වමනය පවතී නම් සාදික්කා දෙහි ඇඹුලෙන් ගලගා බීමට දීම

සාදික්කා, ගම්මිරිස් සුදුලූනු ඉඟුරු සියඹලා මුරුංගාපොතු දමා සකසා ගත් තැම්බුම් හොදි පානය කිරීමට දීම

ආයුර්වේදී ඖෂධයක් වන වරථිකාව ගුළි දෙකක් පමණ දෙහි ඉස්ම සමග බීමට දීම වඩාත් යෝග්‍යයි. අජීරණය වහා සුව වේ.

එසේ නොමැති නම් නවරත්න කල්කය ඉතා ස්වල්ප ප්‍රමාණයක් එනම් කෝපි ඇටයක තරම් ප්‍රමාණයක් දෙහි ඉස්ම ඉඟුරු ඉස්ම සමග බීමට දෙන්න

වෛද්‍ය නිලංකා පතිරණ
ප්‍රධාන වෛද්‍ය නිලධාරී
ශල්‍ය අංශය
බස්නාහිර පළාත් ආයුර්වේද රෝහල
මීගොඩ
Advertiesment