කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල, රංවල ප්රදේශයේදී යුද හමුදා කාර් රථයක් හා ත්රිරෝද රථයක් පෙරේදා 22 වැනිදා රාත්රී එකිනෙක ගැටීමෙන් ත්රිරෝද රථයේ ගමන් කරමින් සිටි සිව්දෙනකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටින්නේ ත්රිරෝද රථයේ රියැදුරුවරයා වන දේවාලේගම නවගමුවේ පදිංචිව සිටින 25 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ නිසල් උමේෂ් ගලිගමුව, බිසෝවල පදිංචිව සිටින 17 හැවිරිදි මුතුකුඩ ආරච්චිලාගේ දහම් විමුක්ති, 25 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ සෙව්වන්දි නිසංසලා රත්නායක හා 19 හැවිරිදි ලේකම්ලාගේ රුචිත් තරුෂ නමැති සිව්දෙනාය.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ කෑගල්ල, ගලිගමුව, බිසෝවල ප්රදේශයේ නිවෙසක අගෝස්තු (22) වැනිදා රාත්රියේ සාදයක් පවත්වා ඇති බවත්, එම සාදයට අඹන්පිටිය ප්රදේශයෙන් ද පිරිසක් පැමිණ සිට ඇති බවත්ය. අඹන්පිටිය ප්රදේශයේ පිරිස රාත්රී ත්රිරෝද රථයකින් යළි නිවෙසට යමින් සිටියදී අඹන්පිටිය ප්රදේශයේදී ඉදිරියට ධාවනය වෙමින් තිබුණු ත්රිරෝද රථයකට ඉස්සර කර ධාවනය කිරීමට යෑමේදී ත්රිරෝද රථය පෙරළී ගොස් කෑගල්ල බෙරගල යුද හමුදා පුහුණු කඳවුරට පැමිණ ආපසු කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු යුද හමුදා කාර් රථයක ඉදිරිපස ගැටී නතර වී ඇති බවත් පොලිසිය පැවසීය.
අනතුරින් ත්රිරෝද රථයේ සිටි රියැදුරුවරයා ඇතුළු සිව්දෙනා තුවාල ලබා පසුව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. පොලිසිය සඳහන් කළේ, තරුණියගේ තත්ත්වය බරපතළ බවත්, ත්රිරෝද රථයේ රියැදුරුවරයාගේ අපරීක්ෂාකාරි රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත්ය.
කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම ,රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ, පොලිස් සැරයන්වරුන් වන අනිල් (40286) තිලකරත්න (67719) යන අය විමර්ශන කටයුතු සිදු කළහ.
Lanka Newsweek © 2024