Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


පොඩි මිනිහගේ ස්වර්ණමය යුගය උදා කරනවා.


2024-08-20 14355

 

"සමහරු අද කයිවාරු ගහනවා පෝලිං ක්‍රමය නැති කළා කියලා. පෝලිං ක්‍රමය නැති වුණේ ඒගොල්ලන්ගේ හපන්කමක් නිසා නොවෙයි." යැයි සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල දෙහිඕවිට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ අගෝස්තු (18 වැනිදා) පැවැති ජන රැලියෙදිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.

"මම තනතුරුවලට කෑදරකමෙන් තනතුරු බදාගෙන ඉන්න කෙනෙක් නොවෙයි. මේ රටේ බලයට පත්වන සෑම නායකයෙක්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු දුන්නත් ඒ පුටුවේ වාඩිවුණාම ඒ තනතුරේ උෂ්ණය දැනුණාම ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරලා තනතුර බදාගෙන ඉන්නවා. සමහරු දළදා මාලිගාවට ගිහිල්ලා දළදා හාමුදුරුවෝ ඉදිරිපිට අත්සන් කරලා කිව්වා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා. නමුත් ඔවුන් බලය ලබා ගත්තට පසුව කවදාවත්ව ඒ ගැන කතා කරලා නෑ. නමුත් මම ජනතාවට බොරු කියන්නේ නෑ. මම මෙරටේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරනවා. ඒ පරිච්ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා එය මෙරටේ නීතියක් බවට පත් කරනවා. සමහරු මට කියනවා එදා රට භාරගන්නෙ නැතුව පැනල දිව්වා කියලා. මම එදත් කිව්වා අදත් කියනවා මම පැනල දිව්වේ නැහැ. නමුත් මම එක මොහොතක්වත් රාජපක්ෂවරු ඉන්න තැනක ඉන්නෙ නෑ. අද ජනාධිපති රාජපක්ෂවරු ආරක්ෂා කරන පොලිස්පති බවට පත්වෙලා. මම ඒ විදියට හොරු රකින රටේ නායකයෙක් වෙන්නේ නෑ. එහෙම වෙන්න මට ඕනෑකමකුත් නෑ. මම මේ රටේ නායකත්වය භාරගන්නේ ජනතා වරමකින් පමණමයි. දැන් ජනතාව ඒ වරම මට දෙන්න සූදානමින් ඉන්නවා. සැප්තැම්බර් 22 වැනිදා ඒ ජනතා වරම මම භාරගන්නවා. එදා සිට මේ රටේ උදාවෙන්නේ පොඩි මිනිහගේ ස්වර්ණමය යුගය කියලා මම වගකීමෙන් කියනවා. මගේ රජයක් යටතේ මේ රටේ තරුණ නවෝදයක් ඇති කරනවා. තාක්ෂණයේ නවෝදයක් ඇති කරනවා. ආර්ථික නවෝදයක් ඇති කරනවා. මෙරටේ සුහුරු පුරවැසි පරපුරක් බිහි කරන්න රජය මැදිහත්වී ක්‍රියා කරනවා.

වත්මන් ආණ්ඩුව වතුකරේ ජනතාවට රුපියල් 1700ක දෛනික වැටුපත් දෙනවයි කියලා ඔවුන් රවට්ටනවා. දෛනික වැටුප 1700 දැන් 1350ට බැහැලා. මම එහෙම බොරු කරන්නේ නෑ. මම කියන් නැහැ මම රුපියල් දෙදහක් දෙනවා කියලා. නමුත් ජනතාවට දෙන්න

පොරොන්දු වුණ එකදාස් හත්සිය දෙන්න මම මැදිහත් වෙනවා. ඒ වගේම රාජ්‍ය හා පෞද්ගලික වතු සමාගම්වලට අයත් වතුකරයේ තිබෙන සියලුම වගා නොකළ ඉඩම් සියල්ල වතුකරයේ ජනතාවට සහ රැකියා නොමැති තාරුණයන්ට ලබා දී ඔවුන් මෙරටේ කුඩා තේ වතු හිමියන් බවට පත් කරන්න කටයුතු කරනවා. මෙරටේ තේ නිෂ්පාදනයෙන් සියයට හැත්තෑවක්ම දායකත්වය දරන්නේ කුඩා තේ වතු හිමියන්. වතු සමාගම්වලින් තේ නිෂ්පාදනයට ලැබෙන දායකත්වය සියයට තිහක තරම් සොච්චමක්. එනිසා කුඩා තේ වතු හිමියා රැකගෙන ඔහුව දිරිමත් කිරීම රජයක වගකීමක්. මම ඒ වගකීම නොපිරිහෙළා ඉටු කරනවා.

ජනතාවට නැති බැරිකමින් මිරිකිලා ඉන්න මොහොතක භාණ්ඩ මිල අහස උසට නැග්ගම පෝලිම් ක්‍රමය ඉබේම නැති වෙනවා. මේ රටේ පෝලිම් නැති වුණේ එහෙමයි. රටේ ජනතාවගෙන් අඩක් බඩ ගින්නෙ. තුන් වේලක් කාපු අය දැන් කන්නේ දෙවේලයි. දෙවේලක් කාපු අයට දැන් කන්න පුළුවන් වී තිබෙන්නේ එක වේලයි. ජනතාව එහෙම දුක් විඳිද්දී ජනාධිපතිවරයාට ලෝක වටේ සවාරි යන්න පුළුවන්. ඔහුගේ ගෝලබාලයන්ට කොන්ත්‍රාත් කරන්න පුළුවන්. මේ රටේ පාලකයෝ රටේ ආර්ථික සිරගත කරලා. සාර්ව ආර්ථිකය කොටුකරලා. මේ නිසා රටේ ආදායම සීග්‍රයෙන් පහත වැටිලා. එයින් ජනතාව දුකට පත්වෙලා. මෙරටේ නූපන් දරුවාගේ සිට මහල්ලා දක්වා මහත් වූ පීඩාවකට පත්වෙලා. මේ තත්ත්වය වෙනස් කරලා පොදු ජන යුගය ලබන සැප්තැම්බර් 21දායින් පස්සේ ආරම්භ කරනවා."

Advertiesment