ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මඟින් මේ වන විට නිකුත් කර තිබේ. ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයන්ගේ නම්, ඔවුන්ට අයත් සංකේත සහ ඔවුන්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ දිස්වන අනුපිළිවෙළ එහි ඇතුළත් කර තිබේ. ජනපති අපේක්ෂකයන් 39 දෙනාගෙන් 22 දෙනෙක් මේ වන විට පොලිස් ආරක්ෂාව ලබාගෙන ඇති බව ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත්කර ඇති කමිටුවේ තොරතුරු අනාවරණය කළේය. අපේක්ෂකයන් සියලු දෙනාගේම ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් මේ වන විට සිදු වෙමින් ඇති බවත් ඒ අනුව ආරක්ෂාව ලබා දීමේ ප්‍රමාණයේ වෙනස්වීම් සිදුවන බවත් කමිටුවේ තොරතුරු සඳහන් කළේය. අපේක්ෂකයකු වන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයෙන් සිදුවන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව පැවති තත්ත්වයට වඩා වැඩි කිරීමක් සිදුකර ඇති බව ද එම තොරතුරු අනාවරණය කළේය.
“අපි කාටද ආරක්ෂාව දීල තියෙන්නේ කාටද ආරක්ෂාව දීල නැත්තේ කියල කියන්න බැහැ. මේක ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි අපි හැම තිස්සේම අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන සොයා බලනවා. කිසියම් අපේක්ෂකයෙක් ඔහුට ලබා දීල තියෙන ආරක්ෂාව ප්‍රමාණවත් මදි කියල දැනුම් දුන්නොත් ඒ සම්බන්ධයෙන්ද ආරක්ෂක තක්සේරුවක් කරල අවශ්‍ය පියවර ගන්නවා. ආරක්ෂාව එපා කියන අපේක්ෂකයින්ද මේ අතර ඉන්නවා” යැයි මෙම ආරක්ෂක කමිටුවට සම්බන්ධ ආරක්ෂක අංශයක උසස් නිලධාරියෙක් පැවසීය. මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානු ගුණතිලක මහතාය.
Lanka Newsweek © 2024