Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


ජනාධිපතිවරණ උභතෝකෝටිකයේ ජාතික ප්‍රතිවිපාක


2024-08-15 14378

 


ආචාර්ය  ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණය සඳහා නියමිත කාලසීමාව ඉතා ඉක්මණින් ළඟාවෙමින් පවතින අතර මෙතැන් සිට සතියක කාලයකින්, ජූලි 17 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබේ. මැතිවරණ ප්‍රචාරක රැස්වීම් එන්න එන්නම ඝෝෂාකාරී වෙමින් පවතී. ප්‍රධාන විරුද්ධ පක්ෂ දෙක ඔවුන්ගේ දේශපාලන රැලිවලට සහභාගී වන සංඛ්‍යාවෙන් ඔවුන්ගේ වර්ධනය වන ශක්තිය පෙන්නුම් කරයි. ආණ්ඩුවත් අභියෝගයට මුහුණ දීමට එකමුතු වෙමින් සිටී. ආසන්නතම ජනහමුවේදී, අමනාප වී ඇතැයි සැළකෙන පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛ සාමාජිකයන් එක්රැස්ව සිටිනු දැකගත හැකිවිය. ආර්ථිකය කඩාවැටුණු අවස්ථාවේ සැඟවී සිටීමට සිදු වූ විට අහිමි වූ සිය පොදු වසම තුළට නැවත බොහෝදෙනා ඔසවමින් පැමිණෙමින් සිටිති.

දැනට පෙනෙන ඉඟිය වන්නේ ආණ්ඩු පක්ෂයේ සහාය මෙන්ම අනෙකුත් පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ සහාය ඇතිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි බවත්, ඒ අතරින් පාර්ශව කිහිපයක් ඔහුට විවෘතව සහාය පළකර ඇති බවත්ය. කෙසේවෙතත්, මෙහි අවාසියක්ද ඇත. රට ආර්ථීක ප්‍රපාතයට ඇද දැමූ පාලක පක්ෂයේ නායකයන් දෙස බොහෝ ඡන්දදායකයන් බලන්නේ අප්‍රසාදයෙනි. මෙය, ඒ හා සමාන විරුද්ධත්වයක් නොපවතින ජනාධිපතිවරයා කෙරෙහිද ඔවුන් සතුව ඇති ප්‍රසාදය අහිමිවීමට හේතු විය හැක. ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කිරීමේ විකල්පය ජනාධිපතිවරයා සතුව පවතින අතර, එමඟින් ඕනෑම දේශපාලන පක්ෂයක ධජය යටතේ ප්‍රචාරක කටයුතු කිරීමේ වගකීමෙන් ඔහු නිදහස් වනු ඇත. එමගින්, මහජන මත විමසුම්වලට අනුව ස්ථාවර මට්ටමක් පෙන්නුම් කරන ඡන්දදායකයන් වෙතින්, ඔහුට පවතින ආකර්ෂණය සීමානොකරනු ඇත.

කෙසේවෙතත්, මාස කිහිපයකට පෙර තම අපේක්ෂකත්වය ප්‍රකාශ කළ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් මෙන් නොව, ජනාධිපතිවරයා එවැනිම ප්‍රකාශයක් කිරීමෙන් දිගින් දිගටම වැළකි සිටීම සැළකිව යුතු කරුණකි. මෙය පිටුපස හේතු දෙකක් තිබිය හැකිය. එකක් නම්, ඔහු තම අපේක්ෂකත්වය ප්‍රකාශ කරන මොහොතේම, ඔවුන්ගේ සහයෝගය තමා වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා රාජ්‍ය සම්පත් ජනතාවට ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් භාවිත කිරීමට ජනාධිපතිවරයා නුසුදුස්සකු වීමයි. වසරකට වැඩි කාලයක් තිස්සේ කල්දමා ඇති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය සම්පත් වෙන්කිරීමේ තීරණ ගැනීමේ කමිටු සාමාජිකයන් වීමට නුසුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් නියෝග කර තිබේ. ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාදවීමට දෙවැනි හේතුව විය හැක්කේ, තමාට මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඉඩක් නොමැති බව ඔහු විශ්වාස කරන්නේ නම්, මැතිවරණයට තරඟ නොකිරීමේ විකල්පය ඔහු තෝරාගෙන සිටීමයි.

හදිසි පෙත්සමක්

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් හදිසියේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකිරීම අනපේක්ෂිත දේ සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමකි. ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් නීත්‍යානුකූල තීරණයක් ගන්නා තෙක් මැතිවරණය කල්දමන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද එම පෙත්සමින් ඉල්ලා තිබිණි. ජනාධිපතිවරයා දිගටම ධූරයේ කටයුතු කරනු ඇතැයි ප්‍රාර්ථනා කරන බොහෝදෙනෙක් සිටින නමුත් සාමාන්‍ය ජනතාව වෙනත් මතයක් දරනු ඇතැයි ඔවුහු බියවෙති. භාණ්ඩාගාරයේ මුදල් නැතැයි කියමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට පසුගිය වසරේ ආණ්ඩුව සමත් වූ බව සිහිපත් කළ යුතුය. තවත් බොහෝ දේ සඳහා රුපියල් බිලියන ගණනින් මුදල් වියදම් කළත්, අද දක්වා කල්දමා ඇති එම මැතිවරණ පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින්වත් ආණ්ඩුව පෙළඹවිය නොහැකි වී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ වගන්තිවල ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් සහ වසර හයක් ලෙස දක්වා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමින් කියැවිණි. මෙහිදී අවධානය යොමුවූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති බලතල සහ ජනාධිපති ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු කිරීම සම්බන්ධයෙනි. කෙසේවෙතත්, ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා විසින් මෙම ගැටළුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි. මෙය ප්‍රසිද්ධියකින් තොරව සිදු කර ඇත.  මෙම යෝජනාවේ අඩංගු වන්නේ කුමක්දැයි කැබිනට් මණ්ඩලය හැර අන් කිසිවකු නොදන්නා බව පෙනේ.

අනෙක් අතට ජනාධිපතිවරයාගේ ධූර කාලය හය වසරක් නොව වසර පහක් බවත් ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ ලබන වසරේ නොව මේ වසරේ බවත් තමා විශ්වාස කරන බවත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. “ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බව මම තරයේ විශ්වාස කරන අතර 2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගන්නා පියවරට මම සහාය දෙමි” යනුවෙන් ජනාධිපතිවරයා පවසා තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ගොනුකිරීම පිටුපස තමා හෝ තම කණ්ඩායම සිටින බවට ඇති සැකය දුරුකිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව පැහැදිලිය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරස්පරතාව විසඳීම සඳහා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට සැබවින්ම ඉදිරිපත් කර ඇත්තේ කුමක්ද යන ප්‍රශ්නය මෙයින් මතු වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු මූලික ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්මතයන්ට පටහැනිව රහසිගතව පාලනය කිරීම නොවේ.

 
විශ්වාසය බිඳවැටීම

වචනය සහ ක්‍රියාව අතර ඇති නොගැලපීම නිසා රට පාලනය කරන්නන් කෙරෙහි විශ්වාසය නැති වී ගොස් ඇත. ඔවුන් දවාලේ එක් දෙයක් පවසා, රාත්‍රියට මුවාවී තවත් දෙයක් පැවසුවහොත් සියල්ල කෙරෙහි ව්‍යාකූලත්වය සහ අවිශ්වාසය ඇති වේ. මෙම තත්වයන් තුළ නීති බිඳවැටීම වැළක්විය නොහැක. සමාජයට හානි කරන, අර්ථවත් ලෙස ආර්ථික හා දේශපාලන සංවර්ධනයක් සිදුකළ නොහැකි තත්ත්වයක් නිර්මාණය කරන මෙම තත්ත්වයන් තුළ වරදකරුවන් දඬුවමින් නිදහස් වීම සහ දූෂණය වැඩි වනු ඇත. එක් ක්‍ෂේත්‍රයක ක්‍රියාත්මක වන විනිවිදභාවය හා රහස්‍යභාවය නොමැතිකම අනෙක් ක්‍ෂේත්‍රය තුළ ද පිළිබිඹු වනු ඇත. උදාහරණයක් ලෙස රජය සිය ණය හිමියන් සමඟ අන්තර්ජාතික ණය පිළිබඳ එකඟතාවකට පැමිණීමේ සාර්ථකත්වය පිලිබඳ සකඡාවයි. උත්ප්‍රාසය නම් ආණ්ඩුව අනෙක් අය සමඟ එකඟ වූයේ කුමන කොන්දේසිවලටද යන්න පිළිබඳව ඔවුන් සියලුදෙනාද සැකයෙන් පසුවීමයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවලින් විපක්ෂය ඉවත් කිරීමට හේතු වන්නට ඇත්තේ රජය ඉදිරිපත් කළ කොන්දේසි මත විපක්ෂය ඒවාට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම හැකිය. කෙසේවෙතත් අන්තර්ජාතික ණයහිමියන් සමඟ ඇතිකරගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම් ආණ්ඩුව විසින් විපක්ෂයෙන් වසන් කිරීම හොඳ කරුණක් නොවේ. අද සිදුකරන ආයෝජනවලින් අනාගතයේදී ධනාත්මක ප්‍රතිඵල ලබාගත හැකි වන පරිදි සමාජයේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන පාලනයේ සත්‍ය, ස්ථාවරභාවය සහ විනිවිදභාවය තිබිය යුතුය. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ප්‍රශ්නය, පැනවුණු කොන්දේසි සහ අනාගතයට එමගින් ඇතිවන බලපෑම් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නොහැකි වීම රටට අහිතකරය.

ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුන පුනා ප්‍රකාශ කර ඇති අතර, එය මැතිවරණ කොමිෂන් සභාව විසින් ද අනුමත කරන ලද ස්ථාවරයක් වේ. ඒඅනුව, ජනාධිපතිවරණ ව්‍යවස්ථානුකූලව මේ වසර සඳහා අනිවාර්ය බව ප්‍රකාශ කර ඇත. පළපුරුදු දේශපාලකයකු ලෙස, තාර්කිකත්වය නොසළකා මැතිවරණ ප්‍රමාද කිරීම අරමුණු කරගත් විනිවිදභාවයෙන් තොර ක්‍රියාමාර්ග ජාතික නොසන්සුන්තාවයට තුඩු දිය හැකි බවත්, පසුගිය දෙවසර තුළ තම නායකත්වය යටතේ ලබා ඇති ප්‍රගතිය එමගින් අහෝසි විය හැකි බවත් ජනාධිපති වික්‍රමසිංහ නිසැකවම දනී. මැතිවරණයක් වැනි අති මූලික ප්‍රශ්නයක් පිළිබඳ අවිනිශ්චිතභාවය ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පිළිබඳ දේශීය හා අන්තර්ජාතික විශ්වාසය පළුදු කිරීමට ද උපකාරී හේතුවේ. එසේම ශ්‍රී ලංකාවේ මැතිවරණ කල් දැමීමේ ඓතිහාසික පූර්වාදර්ශ මගින් උත්පාදනය වූ අහිතකර ප්‍රතිවිපාක විසින් පැහැදිලිවම, නියමිත මැතිවරණ ක්‍රියාවලීන්ට අනුගතවීමේ වැදගත්කම ඉස්මතු කරයි

.

Advertiesment