දේශආචාර්ය ජෙහාන් පෙරේරා
පොලිස්පති මැතිතුමා බන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතට ගමන්කරන මතභේදයක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. ඔහුගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලුම පෙත්සම් අධිකරණය විසින් සම්පූර්ණයෙන් සළකා බලන තෙක් ඔහු පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කිරීම වළක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගයට අනුව ක්‍රියා නොකිරීමට රජය තීරණය කර ඇත්තේ, නීතිගරුක ජනතාව මවිතයට පත්කරමිනි. රටේ ඉහළම අධිකරණයේ තීන්දුව නොතකා, නීතියෙන් පාලනය වන සමාජයකට පිළිගත නොහැකි පොලිස්පතිවරයා, දිගටම ධූරයේ කටයුතු කරන බව ආණ්ඩුව අවධාරණය කරයි. මේ හරහා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති තර්ජනය සුළුකොට තැකිය නොහැක.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ, වත්මන් පොලිස්පතිවරයා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනස් කළ නොහැකි බවත්, එබැවින් පොලිස්පතිවරයා තවදුරටත් සිය ධුරයේ කටයුතු කරනු ඇති බවත්ය. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද, ජනාධිපතිවරයා විසින් කරන ලද පත්වීම් ප්‍රශ්න කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට කරන ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව කිසිසේත්ම පිළිගත නොහැකි” බව නීතිඥ සංගමය ඊට ප්‍රතිචාර ලෙස ප්‍රකාශ කර ඇත. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාට එරෙහිව මැතිවරණ පෙත්සම් ගොනුවීමට ඉඩ ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයකු පත් නොකරන බව ප්‍රකාශ කළේය.
විශේෂයෙන් කරුණු දෙකක් නිසා පොලිස්පති තෙන්නකෝන්ගේ පත්වීම ආන්දෝලනයට ලක්විය. පළමුව, ඔහු දශකයකට පෙර සිදු වූ වධහිංසාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කොට, ඔහුව විනය ක්‍රියාමාර්ගවලට යටත් කළ යුතු බවට නියෝගයක් සමඟ දඩ නියමකර ඇත. ඒ, ඔහු විසින් වෙනත් අවස්ථාවලදී මානව හිමිකම් කඩකිරීම් සිදුකර ඇති බවට වන තවත් පැමිණිලි ගණනාවකට අමතරවය. ඔහු එම අවස්ථාවේ වැඩබලන පොලිස්පතිවරයා විය. එහෙත් විනය ක්‍රියාමාර්ග වෙනුවට ඔහුව පොලිස්පති තනතුර දක්වා උසස් කෙරිණි.
පොලිස්පති තෙන්නකෝන් එම ධූරයට පත්කළ ආකාරය ද මතභේදයට තුඩු දී තිබේ. රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ නිලධාරීන් තෝරාගැනීම සහතික කිරීම සඳහා පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාව මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් බෙදීගියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවූ ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔහුගේ පත්වීම සඳහා එහි සිටින මන්ත්‍රීවරුන් 9 දෙනාගෙන් අවම වශයෙන් පස්දෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය විය. ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් හතරදෙනකු පමණි. දෙදෙනෙක් ඔහුගේ පත්වීමට විරුද්ධ වූ අතර දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ව්‍යවස්ථාදායක සභාවේ මුලසුන හොබවන කථානායකවරයා විසින් ආන්දෝලනාත්මක තීරණයක් ගනු ලැබුවේ, එම ඡන්දය දීමෙන් වැළකී සිටීම් දෙක අනාගත පොලිස්පතිවරයා පත්කිරීමට එරෙහි ඡන්දවලට සමාන ලෙස ගණන් කිරීමට තීරණය කිරීමත් සමඟය. එවිට පවත්වනු ලැබූ ඡන්දය, පක්ෂව හතරක් සහ විපක්ෂව හතරක් ලෙස සමවනු ඇති බැවින්, කථානායකවරයා තම තීරණාත්මක ඡන්දයේ වරප්‍රසාදය භාවිත කර, එය පත්කිරීමට පක්ෂව පහට හතරක් බවට පත්කළේය.
දේශබන්දු තෙන්නකෝන් පොලිසියේ ඉහළම තනතුරට පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 9ක් ගොනුකර තිබිණි. 250 දෙනකුට මරු කැඳවූ සහ විශාල සංඛ්‍යාවකට තුවාල සිදු වූ 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලදී ඔහු අතපසු කිරීම් සිදුකර ඇති බවට එල්ල වූ චෝදනා ද ඊට ඇතුළත් ය. පොලිස්පතිවරයාට එරෙහිව පවතින නඩුවල තීන්දු ලැබෙනතුරු එම ධූරයෙන් වැඩ තහනම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේ මේ කරුණු මුල්කරගෙනය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ආණ්ඩුව විවිධ තර්ක ඉදිරිපත් කරයි. එකක් නම් ව්‍යවස්ථාදායක සභාව ව්‍යවස්ථාදායකයේ කොටසක් වන අතර, එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාදායකයට අදාළ කරුණු තීරණය කළ නොහැකි බවය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ “ජූලි 27 වැනි දින අගමැතිවරයා පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයේ වලංගුභාවය සහ බලපෑම පිළිබඳ සැළකිව යුතු වැරදි තොරතුරු ලැබී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය පාර්ලිමේන්තුවට පටහැනි වූවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එරෙහිවූවක් නොවේ. එපමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ කාරක සභාවක් නොවන අතර, ඒ අනුව පාර්ලිමේන්තු වරප්‍රසාදයෙන් එය ආරක්ෂා නොවේ” යනුවෙනි.
ආණ්ඩුව ඉදිරිපත් කරන තවත් තර්කයක් වන්නේ, ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ප්‍රකාශ කර ඇති බැවින් වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට තවදුරටත් හැකියාවක් නොමැති බවත්, වැඩබලන පත්කිරීම් කළහොත් මැතිවරණ පෙත්සම්වලට ලක්විය හැකි බවත්ය. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පොලිස්පති තෙන්නකෝන් තවදුරටත් එම ධුරයේ රැඳීසිටීමයි. එහෙත් ඔහුගේ එම රැඳීසිටීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නොතකා හැරීමකි. සාමාන්‍ය ජනතාව අතර අධිකරණ තීන්දුවලට විශාල ගෞරවයක් පවතී. අධිකරණයට පිටුපාමින් හෝ ඊට අවමන් සහගත ලෙස කතාකිරීමෙන් අධිකරණයට අපහාස කිරීමට ජනතාව කැමති නැත. කෙසේවෙතත්, මෙම නඩුවේදී පොලිස්පති තෙන්නකෝන්ට සහාය දක්වන බලවත් හිතවතුන් සිටී. කිසිවක් කිරීමට හැකියාවක් නැතැයි පවසනු වෙනුවට වැඩබලන පත්වීම සිදුකිරීමට ක්‍රම සොයාගත යුතුය. යමක් කළ හැකි අතර, ව්‍යවස්ථානුකූලව අවශ්‍ය වන පරිදි, පක්ෂග්‍රාහී චෝදනාවලින් ආරක්ෂා වන පරිදි, ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් වැඩබලන පත්කිරීම සිදුකිරීම මෙයට ඇතුළත් වේ.
කණගාටුවට කරුණක් නම්, වත්මන් ආණ්ඩුවේ ස්ථාවරය, ජනාධිපති, පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර බලතල බෙදීම මත රඳා පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මයට වල කැපීමය. රජයේ මෙම ශාඛා තුන සැලසුම් කර ඇත්තේ ඕනෑම තනි ශාඛාවක් විසින් බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමේ සංවරණ සහ තුලන පද්ධතියක් ලෙස ක්‍රියාකිරීමටය. නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ පදනමයි. 17 වැනි සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයකු වූ ජෝන් ලොක් ප්‍රකාශ කළේ “නීතිය අවසන් වන සෑම තැනකම කුරිරු පාලනය ආරම්භ වන” බවයි. ඒ හා සමානව, 17 වැනි සියවසේ ප්‍රංශ දාර්ශනික මොන්ටෙස්කියු, ඒකාධිපතිවාදය වැළැක්වීම සඳහා ආණ්ඩු බලතල වෙන්කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේ මෙසේය. "අධිකරණ බලය ව්‍යවස්ථාදායකයෙන් සහ විධායකයෙන් වෙන් නොකළහොත් නිදහසක් නැත". ආණ්ඩුවේ වත්මන් ක්‍රියා මෙම මූලධර්මවලට පටහැණි වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය පවත්වාගෙන යන තුලනයට එය තර්ජනයක් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයට අවනත වීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම මෙම මූලධර්මවලට අභියෝග කරන අතර, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අනුබල දෙන නීතිමය රාමුව එමගින් යටපත් කරයි. ව්‍යවස්ථාදායක සහ විධායක ක්‍රියාවන්හි ව්‍යවස්ථානුකූලභාවය තක්සේරු කිරීමට අධිකරණයට ඉඩ සලසන අධිකරණ සමාලෝචනය පිළිබඳ සංකල්පය බල තුලනය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. අධිකරණයේ නියෝගය නොසළකා හැරීමෙන්, රජය මෙම සමතුලිතතාව කඩකරනවා පමණක් නොව, සමාජ පර්යාය සඳහා අත්‍යවශ්‍ය වන නෛතික පුරෝකථනය කිරීමේ හැකියාව සහ ස්ථාවරත්වයට ද තර්ජනය කරයි.
අධිකරණ තීන්දු නොසළකා හැරීමෙන්, නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කළ හැකි භයානක පූර්වාදර්ශයක් ආණ්ඩුව විසින් සපයනු ලබන අතර, රජයේ අනෙකුත් මට්ටම්වල තේරී පත් වූ නිලධාරීන් අතරද සමාන හැසිරීම් සඳහා දිරිමත් කිරීම් සිදුකරනු ලබයි. පොලිස්පති තෙන්නකෝන් තවදුරටත් ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නගන තර්ක නිසා සාමාන්‍ය ජනතාව කුපිත වී ඇත. ජනගහණයෙන් අතිමහත් බහුතරයක් විශ්වාස කරන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය නීතිමය කාරණා සම්බන්ධයෙන් අවසාන බේරුම්කරු බවත්, යුක්තිය සඳහා අවසාන රැකවරණය බවත්ය. ඊට අමතරව තව මාස දෙකකටත් අඩු කාලයකදී ආණ්ඩුව වෙනස් විය හැකි ජනාධිපතිවරණයක් කරා රට ගමන් කරමින් සිටින අතර, පොලිස්පති තෙන්නකෝන්ට ලැබෙන සහයෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට අවාසිදායක ලෙස අතුරුදහන් විය හැකිය.
මෙම තත්ත්වය තුළ පොලිස්පති තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අවබෝධ කරගනිමින් පොලිස්පතිවරයාගේ කටයුතුවලින් ඉවත්වීම සාධාරණය. එසේ නොවුවහොත් ඔහු අධිකරණයට අපහාස කරනු ඇත. ඔහුගේ වර්තමාන රාජකාරි සහ වගකීම්වලින් ඉවත්වීමෙන්, ඔහු අධිකරණයට, බලතල බෙදීමේ සංකල්පවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ පදනම වන සංවරණ සහ තුලන ක්‍රමයට ගරුකිරීමක් සිදුකරනු ඇත. එවැනි ක්‍රියාවක් මගින්, රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා අවශ්‍ය ස්ථාවරභාවය අඩපණ කළ හැකි ලෙස නිර්මාණය කෙරෙන අර්බුදයක් සමනය කිරීමට ද උපකාරී වනු ඇත. මෙය වැළැක්විය යුතු අනතුරක් බවත්, ඒ අනුව පිළියම් යෙදිය යුතු බවත් ජනාධිපති වික්‍රමසිංහ පැහැදිලිවම පවසා ඇත.
Lanka Newsweek © 2024