.
සජබ කදවුරේ දැවැන්තයෙක් උන රාජිත අඟහරුවාදා (13) රනිල්ගේ පාර්ශවයත් එක්ක එකතු වුනා.රාජිත, ෆොන්සේකා,වෙල්ගම,පඨළී කියන්නේ කාලයක් තිස්සේ සජිත් එක්ක ප්‍රතිපත්තිමය ගැටුමක හිටපු අය,මේ හතර දෙනාගෙන් දෙන්නෙක් දැන් එළියට බැහැලා.ඒ අතරින් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.සමහරවිට ෆොන්සේකාගේ සහ නාමල්ගේ භූමිකාව එකක් වෙන්නත් පුළුවන්.
නාමල් රනිල්ගේ ඡන්ද කඩනවා වගේම ෆොන්සේකාත් සජිත්ගේ ඡන්ද කඩන්න එනවා වෙන්න පුළුවන්.පාඨළීට තීරණයක් ගන්න බැරිව තවම වැනෙනවා.සමහරවිට රාජිත මේ පැත්තට ආපු එක බැලන්ස් කරන්න අද හෝ හෙට පාඨළී ආයෙත් සජබයට යන්න පුළුවන්.රාජිත කරන්නේ ඔක්කොම වෙනුවෙන් මුට්ය දාලා බැලීමක් වෙන්නත් පුළුවන්.
මේ නාට්ටියේ බොහෝවිට රාජිත කසකාරයා වෙන්න පුළුවන්.රාජිත කසකාරයා නං අනිවාර්යයෙන්ම පෙරහැර ළඟම එන්න ඕනි.16 වෙනිදා රනිල්ට සහය දෙන සන්ධානය හැදෙන නිසා යමක් නොවී තියෙන්නත් බෑ.රාජිත නිකම්ම බිලි boy වෙයි කියලා හිතන්න බෑ.රාජපක්ෂ රන් කූඩුවේ දාගෙන ඇති දැඩි කරපු ධම්මිකටත් අන්තිම මොහොතේ මොලේ පෑදුනා.හැබැයි රාජිත වගේ දේශපාලන කියවීමක් තියන කෙනෙක් නිකම්ම බිලි බෝයි කෙනෙක් වෙයිද කියලා හිතන්න බෑ.
රාජිතගේ පැමිණීමේ යම් ගැඹුරු අර්ථයක් තියෙන්න ඕනි.රාජිත සජබය ඇතුලේ තමන්ගේ මතය වෙනුවෙන් පෙනී හිටිය කෙනෙක්. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේදී රාජිත රනිල් සජිත් එකතුවක් වෙනුවෙන් පෙනී හිටියා. බලය බෙදීම වෙනුවෙන් වගේම දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රාජිත නිර්භයව කතා කළා.රාජිත මොන කදවුරේ හිටියත් රාජිතගේ විග්රහන්ට වමේ බලපෑම තියන බව පැහැදිලියි.
රාජිත ගැනීම තවදුරටත් ප්‍රමාද කිරීම සුදුසු නෑ කියලා රනිල් තීරණය කළා වෙන්න පුළුවන්. මොකද ඔයාලා දකින්න ඇති උතුරු නැගෙනහිර පාලත් දෙකේ බලය හොබවන දෙමල ජාතික සන්ධානය කියලා තිබුණා උතුරේ ඡන්ද දෙන්නේ බලය බෙදන අපේක්ෂකයට කියලා.බලය බෙදීම සම්බන්ධ සංවාදයේදී රාජිතට තියෙන්නේ විශේෂ තැනක්.උතුරේ සහ නැගෙනහිර ජනතාවට දකුණේ ඉන්න නායකයන් අතරින් වඩාත් කිට්ටු කෙනෙක් තමයි රාජිත.
ඒක නිසා රාජිත නැවත රනිල් වෙත පැමිණීම දෙමල ඡන්ද පදනමට ලොකු බලපෑමක් වෙනවා. උතුරේ බහුතර ජනතාව පහුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ සජිත්ට.ඒ කියන්නේ හන්සයාට.මේ මැතිවරණයේදී උතුරේ හා නැගෙනහිර දෙමල සහ මුස්ලිම් ඡන්ද ඉතාමත් තීරණාත්මකයි.මොකද දකුණේ සිංහල ඡන්ද ඉතා තියුණු විදිහට කඳවුරු කීපයක් අතර බෙදෙනවා.
රනිල්,අනුර,සජිත්,නාමල් සහ අනිත් අය අතර දකුණේ ඡන්ද අඩු වැඩි වශයෙන් බෙදී යයි.ඒ වගේ අවස්ථාවක උතුරේ ඡන්ද බහුතරය ගන්න පුළුවන් අපේක්ෂකයාට වැඩි වාසියක් එනවා.ගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභයට දකුණේ ඡන්ද අති බහුතරය හම්බ වුනා.ගෝඨාභයට උතුරෙන් හම්බ උනේ ඉතා සුළ ප්‍රතිශතයක්.ගෝඨාභයගේ ජයග්‍රහණය තහවුරු උනේ බහුතර සිංහල බෞද්ධ ඡන්දවලින්.
ගෝඨාභයත් ඒක රුවන් වැලි සෑය ළඟ කරපු දිවුරුම් දීමෙදී කිව්වා.හැබැයි ගෝඨාභයට තිබුණ ඒ වාසිය මේ පාර දකුණේදී කාටවත් හම්බ වෙන්නේ නෑ.මේපාර ජනාධිපති වෙන කෙනා කවුරු උනත් දකුණේ ඡන්දවල තනි වාසියක් එන්නේ නෑ.උතුරේ ඡන්දවලින් බහුතර තවමත් රනිල්ටද සජිත්ද කියන ප්රශ්නය තියනවා.උතුරේ ඡන්ද වෙනුවෙන් රනිල් සහ සජිත් අතර ලොකු සටනක් ඇවිලෙන එක නවත්තන්න බෑ.දකුණේ ඡන්දවලින් එක,දෙක,තුන කියලා අපේක්ෂකයෝ තුන් දෙනෙක් තේරුණත් එයාලා අතර ලොකු පරතරයක් තියෙන්න විදිහක් නෑ.ඒ වගේ තත්වයක් යටතේ උතුරු ඡන්ද බහුතරය දකුණේ තුන් වෙනි තැන ගන්න කෙනාට ආවත් එයා සමස්ථයේදී උඩට එනවා.
රනිල් මේ ගැන දැඩි අවධානයක් යොමු කරනවා ඇති.ඒක නිසා මේ ජනාධිපතිවරණයට දෙමල සන්ධානය,රිෂාඩ්,හකීම්.අතාවුල්ලා,හිස්බුල්ලා,කරුණා,පිලිලෙයාන්, ඩග්ලස් වගේ අය තීරණාත්ම බලපෑමක් කරයි.රනිල්ටත් ඒ ගණනය කිරීමත් ඇති.ඒක නිසා උතුරේ හා නැගෙනහිර දෙමල, මුස්ලිම් ජනතාවට ඇඩ්රස් කරන්න පුළුවන් රාජිත ගැනීම තවත් පරක්කු කිරීම තේරුමක් නෑ.
අනික සජබයට ප්‍රහාරයක් දීම කොතනින් හරි පටන් ගන්න වෙනවා.රාජිත ගැනීමෙන් සජබෙ ඇතුලේ බරපතල අවිනිශ්චිත කම හැදෙනවා. රාජිතත් නිකම්ම එලියට එයි කියලා හිතන්න බෑ.සජබ ඇතුලේ රාජිතට චේන් එකක් තියෙන්න පුලුවන්.ඒ චේන් එක එකපාරට ගන්නවද නැත්තං කොටස් වශයෙන් අවශ්‍යය තැනදී ගන්නවද කියලා රනිල්ලා රාජිතලා තීරණය කරයි.දැන් සජබය කඩන පළවෙනි කුළු ගෙඩි පාර රාජිත එල්ල කරලා තියනවා.
රාජිත ගහපු පලවෙනි කුළු ගෙඩි පහරින් සජබය කැඩෙයි කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි රාජිතගේ කුළු ගෙඩි පාරින් සජබය හෙල්ලෙන එක නවත්වන්න බෑ.මෙතනදී රාජිත අන්තිම කුළු ගෙඩි පාර ගහලා එලියට එන්න හිටියේ නෑ.රාජිත පළවෙනි කුළු ගෙඩි පාර ගහන්න ඉදිරිපත් වෙලා. ඕනිම එකක පුරෝගාමියෙක් වෙන එක හොඳයි කියලා රාජිතට හිතෙන්න ඇති.බලමු රාජිත මූලිකවෙලා සජබය කොතනින් නතර කරයිද කියලා.
Lanka Newsweek © 2024