අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සියලු ක්‍රීඩකයන් නියෝජනය කිරීම උදෙසා බලතල ලබාදෙන ක්‍රීඩක කොමිෂන් සභා ඡන්දයට ඉදිරිපත්වූ මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වෙමින් නිලූක කරුණාරත්න ඉතිහාසගත වෙයි.
ක්‍රීඩක කොමිෂන් සභා ඡන්දයෙන් හිටපු ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක් තෝරාගත් අතර, එයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න තේරී පත් නොවුණද ඡන්ද 308ක් ලබා තිබිණි. රටවල් 206ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,613 දෙනාම ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබා සිටියත්, ඡන්ද ප්‍රකාශය 6,576ක් වූවේය. නිලූක කරුණාරත්න මේ ඡන්දයට සහභාගිවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දෙනු ලැබීය.
නිලූක කරුණාරත්න බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් 2012 ලන්ඩන්, 2016 රියෝ සහ 2020 ටෝකියෝ යන ඔලිම්පික් උලෙළ තුනේදීම ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, 2001 වසරේ සිට අවස්ථා වැඩි ගණනකදී ජාතික ශූරතාව දිනා ගත්තේය. වසර 22ක කාලයක් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දැක්වූ ඔහු ලෝක ශ්‍රේණිගත කිරීමේ 34 වැනි ස්ථානයට පත් විය.
අන්තර්ජාතික ඔලිම්පික් කමිටු විධායක මණ්ඩලය මගින් අනුමත කරන ලද ලෝකයේ විවිධ රටවලින් නාමයෝජනා ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32ක් අතරින්, 29ක් මෙම ඔලිම්පික් ක්‍රීඩක කොමිෂන් සභාවට තරග කළහ. ආසියා, යුරෝපා, ඔස්ට්‍රේලියා, අප්‍රිකා සහ අෙමරිකා මහද්වීපවලින් ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතුරින් තුන් දෙනෙකු ඡන්දයෙන් ඉවත් කරනු ලැබීය.
2032 පැවැත්වීමට නියමිත බ්‍රිස්බේන් ඔලිම්පික් උලෙළ දක්වා අට වසරක කාලයක් මේ කොමිෂන් සභාවේ නව සාමාජිකයින් ක්‍රියාත්මක වේ. ඇලිසන් ෆිලික්ස් (අමෙරිකාව-මලල ක්‍රීඩා ) ඡන්ද 2,880ක් ලබාගත් අතර, කිම් බුයි (ජර්මනිය-ජිම්නාස්ටික්) ඡන්ද 1,721ක්, ජෙසිකා ෆොක්ස් (ඔස්ට්‍රේලියාව-ඔරු පැදීම ) ඡන්ද 1,567ක් හා මාකස් ඩැනියල් (නවසීලන්තය-ටෙනිස්) ඡන්ද 1,563ක් ලබා මෙම කොමිෂන් සභාවට තේරී පත් වූහ.
මේ නව සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ක්‍රීඩකයන්ගේ කොමිෂන් සභාවේ ක්‍රියාකාරකම් සහ තීරණයන් සම්බන්ධයෙන් ජගත් ඔලිම්පික් කමිටුව වගකීම දරන අතර, ඔලිම්පික් ව්‍යාපාරය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කිරීම, ඔවුන්ගේ ක්‍රීඩා සහ ක්‍රීඩා නොවන වෘත්තීන් සාර්ථක කර ගැනීමට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාලය සවිබල ගැන්වීමට සහාය වීම මේ කමිටුවේ වගකීම වේ.
*.ඡන්දයෙන් ජය ලැබූ අය.
Lanka Newsweek © 2024