Friday 4th of October 2024

English Tamil
Advertiesment


තරුෂි ඇමරිකාවට යයි 


2024-08-09 14374

ඔලිම්පික් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වී මෙයට දින දෙකකට කලින් පැරිසියෙන් ශ්‍රී ලංකාව බලා පිටත්ව ආ මීටර් 800 ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඉදිරි මාස දෙකක පමණ කාලයකදී ක්‍රීඩා පුහුණුවට හා කළමනාකරණ උපාධියක් හැදෑරීම සඳහා අමෙරිකාව බලා පිටත්වීමට සූදානම් වෙයි.

විශ්වවිද්‍යාල කිහිපයකින්ම ඇයට ඇතුළත් වීමේ අවස්ථා ලැබී තිබුණද ක්‍රීඩාව හා අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තෝරාගත් බව තරුෂි කරුණාරත්න ‘දිනමිණ’ට පැවසුවාය. එම අමෙරිකා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට එකඟතාව පළ කර ඇති හෙයින් එය වඩාත් සුදුසුම ස්ථානය බවට හඳුනාගත් බවද ඇය පැවසුවාය.

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම කොට අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් යළි ‘රිපිචේජ් වටයේදී’ මිනිත්තු 2:06.66ක කාලයක් ගත කළාය. ආසියානු රන් පදක්කම් දිනූ තරුෂි කරුණාරත්නගේ පැරිස් ඔලිම්පික් ධාවනය ලොව අතිදක්ෂ ක්‍රීඩිකාවන් අතුරින් එලෙස නිමාවට පත් වූවාය.

21 හැවිරිදි තරුෂිගේ මෙතෙක් හොඳම පෞද්ගලික දක්ෂතාව මිනිත්තු 2:00.66ක් වුවද එය ඉක්මවා යෑමට හෝ හැකියාවක් උදා නොවූ බැවින් ඇයට යම් කනගාටුවක් ඇතිව තිබිණි.

“මුලින් මගේ ඉලක්කය වුණේ පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ගොඩක් කැපවීම් කළා. ක්‍රීඩාව වගේම ඉගෙන ගන්නත් මට අවශ්‍යයි. අමෙරිකාවේ හිටියත් දේශීය තරගවලට හා ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මා එනවා” තරුෂි පැවසුවාය.

තරුෂි ආසියානු ක්‍රීඩා උලෙළකදී වසර 21 කට පසු රන් පදක්කමක් දිනා ගැනීමෙන් අනතුරුව රටවල් ගණනාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව සඳහා ආරාධනා කර ඇත. ඇයට අවශ්‍ය අමෙරිකා වීසා පහසුකම් ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරමින් සිටී.

පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ඔලිම්පික්වලින් පසු සුපුරුදු පරිදි දිගන ක්‍රීඩාංගණයේදී තරුෂි පුහුණුවීම් ආරම්භ කරන බවයි. ඇය අමෙරිකාවට ගියද විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැති බව ප්‍රනාන්දු මහතා පැවසීය.

Advertiesment