Friday 4th of October 2024

English Tamil
Advertiesment


දිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වෙයි


2024-08-09 14395

ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ ලබන වසර දක්වාම ක්‍රීඩාවේ නිරත වන බව සඳහන් කළාය. ක්‍රීඩාවට වයස ප්‍රශ්නයක් නොවන බවත් ශාරීරික යෝග්‍යතාව හා මානසික ඒකාග්‍රතාව හොඳින් පවත්වාගෙන තවත් වසර දෙක තුනක් ක්‍රීඩා කළ හැකි බව තම විශ්වාසය බවත් දිල්හානි ලේකම්ගේ ‘දිනමිණ’ට පැවසුවාය.

හෙල්ල විසි කිරීමේ ශූරී දිල්හානි ලේකම්ගේ පැරිස් ඔලිම්පික් උලෙළේදී මීටර් 53.66කින් 32 වැනි ස්ථානයට පත්වූ අතර, මෙයට මාස 10කට පෙර චීනයේ හැන්ග්ෂූහි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 61.57ක දක්ෂතාවකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ ආසියානු රිදී පදක්කමක් දිනා ගත්තාය.

දිල්හානි ලේකම්ගේ පැවසුවේ වම් කකුලේ ඇති අපහසුතාව ආබාධයක් නොවන බවත් මස්පිඬුවලින් ඇතිවන අපහසුතාවක් පමණක් බවත්ය. “මා කොළඹට ගිය වහාම පුහුණුවීම් ආරම්භ කරනවා. මේ මාසයේ පැවැත්වෙන යුද හමුදා ස්වෙච්ඡා බළසේනා මලල ක්‍රීඩා උලෙළට මා සහභාගි වෙනවා. ඊට පස්සේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට හා ලෝක ශූරතාවලිය ලබන වසරේ පැවැත්වෙනවා. ඒක තමයි මගේ දැන් ඉලක්කය” ලේකම්ගේ සඳහන් කළාය.

පරකඩුව නම් වූ දුෂ්කර ගම්මානයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසි ඇයගේ මුල් පුහුණුකරු අරුණ ශාන්ත හා වත්මන් පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත යන මහත්වරුන්ටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් සිය ස්තුතිය පුද කළාය.

Advertiesment