Friday 4th of October 2024

English Tamil
Advertiesment


වසර 27කට පසු සිංහයෝ ජය පැන් බොති 


2024-08-08 14377

සංචා­රක ඉන්දීය ක්‍රිකට් පිල හමුවේ තරග 3කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය 3-0කින් පරා­ජය වුවද ඉන් උගත් පාඩම් ප්‍රයෝ­ජ­න­යට ගනි­මින් දෙපිල අතර එක්දින තර­ගා­ව­ලිය 2-0ක් ලෙස ජය­ගැ­නී­මට ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ අගෝස්තු [7] සමත් වූහ.

දෙරට අතර ඊයේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවති තෙවැනි සහ අව­සන් තර­ග­යෙන් ලකුණු 110ක දැවැන්ත ජයක් හිමි­කර ගැනී­මට සමත්වූ ශ්‍රී ලංකා පිල ඉන්දීය පිල හමුවේ වසර 27ක එක්දින තර­ගා­වලි පරා­ජ­යන් රැල්ලට තිත තැබු­වේය.

ශ්‍රී ලංකා පිල අව­සන් වරට 1997 වසරේ අර්ජුන රණ­තුං­ගගේ නාය­ක­ත්ව­යෙන් ඉන්දියාවට එරෙහිව එක්දින තර­ගා­ව­ලි­යක් 3-0ක් ලෙස ජය­ගෙන තිබූ අතර, අන­තු­රුව දෙරට අතර පැවති ද්වීපා­ර්ශ්වික එක්දින තර­ගා­වලි 11ම ජය­ගෙන තිබුණේ ඉන්දි­යා­වයි. මේ තර­ග­යේදී නායක චරිත් අස­ලංක මෙන්ම පුහු­ණු­කරු සනත් ජය­සූ­රිය ඉති­හා­ස­යට එක් විය. චරිත් අසං­ලක ශ්‍රී ලංකා එක්දින කණ්ඩා­යම මෙහෙ­යවූ පළමු අව­ස්ථාව මෙය වන අතර, මේ කණ්ඩා­යමේ පුහු­ණු­කරු ලෙස කට­යුතු කරන සනත් ජය­සූ­රිය ශ්‍රී ලංකා පිල අව­සන් වරට (1997) එක්දින තර­ගා­ව­ලි­යක් ජය ගනිද්දී එම කණ්ඩා­යමේ ආර­ම්භක පිති­කරු ලෙස කට­යුතු කළේය.

ඊයේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 249ක ඉල­ක්කය හමුවේ ඉන්දීය පිලට ඕවර 26.1කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 138ක් පමණි.

ඉන්දීය පිළි­තුරු ඉනිම ලකුණු 37ක් වෙද්දී පළමු කඩුල්ල බිඳ වැටුණු අතර, වේග­වත් ආර­ම්භ­යක් දීමට උත්සාහ කළ නායක රෝහිත් ශර්මා පන්දු 20කින් ලකුණු 35ක් රැස් කර සිටි­යදී දුනිත් වෙල්ලා­ල­ගේගේ පළමු ගොදුර බවට පත් විය.

පළමු කඩු­ල්ලට ලකුණු 37ක් එක්වී­මෙන් අන­තු­රුව 9 වැනි කඩු­ල්ලට ද ලකුණු 37ක් එක් කිරී­මට වොෂිං­ටන් සුන්දර් සහ කුල්දීප් යාදව් සමත් වූ අතර, සෙසු පිති­ක­රු­වන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යව­න්න­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බිණි.   සුන්දර් ලකුණු 30ක්, විරාට් කෝලි ලකුණු 20ක් සහ රියාන් පරාග් ලකුණු 15ක් රැස් කළ අතර, සෙසු පිති­ක­රු­වන්ට ලකුණු 10 සීමාව ඉක්ම­වී­මට අව­ස්ථා­වක් නොලැ­බිණි.

ඊයේ සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සට­හන් කළ දුනිත් වෙල්ලා­ලගේ ලකුණු 27කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, ජෙෆ්රි වැන්ඩර්සේ සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ පිති­ක­රු­වන් තිදෙ­නාගේ සාර්ථ­ක­ත්ව­යෙන් ඉනිම ලකුණු 250 අබි­ය­සට ගෙන­යෑ­මට හැකි විණි. පළමු කඩු­ල්ලට අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිශ්ශංක ලකුණු 89ක සබ­ඳ­තා­වක් ගොඩ­නැ­ඟුණු අතර, නිශ්ශංක පළමු කඩුල්ල ලෙස දැවී ගියේ පන්දු 65කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 45ක් රැස්කර සිටි­ය­දීය. ඉන්පසු අවිශ්ක දෙවැනි කඩු­ල්ලට කුසල් මෙන්ඩිස් සමඟ ලකුණු 82ක එක් කළ අතර, ඔහු දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 171ක් විය. ඊයේ ජාත්‍ය­න්තර තරග වරම් හිමි­කර ගත් රියාන් පරාග් හමුවේ අවිශ්ක අවා­ස­නා­වන්ත ලෙස දැවී යන විට ශත­ක­යට ලකුණු 4ක් පසු­ප­සින් සිටි­යේය. ඔහු පන්දු 102කදී හතරේ පහර 9කින් සහ හයේ පහර 2කින් ඉනිම වර්ණ­වත් කර ගත්තේය.

අවි­ශ්කගේ දැවී­යෑ­මත් සමඟ පිති­ක­රු­වන් 5 දෙනකු ලකුණු 28ක් තුළ දැවී යෑමෙන් ශ්‍රී ලංකා­වට විශාල ලකුණු පුව­රු­වක් කරා යෑමට තිබූ අව­ස්ථාව අහි­මිව ගියේය. ඒ අනුව ලකුණු පුව­රුව සට­හන් වූයේ ලකුණු 199කට කඩුලු 6ක් ලෙසිනි. එක් අන්ත­යක් රැක­ගත් කුසල් මෙන්ඩිස් පන්දු 82කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 59ක් රැස් කළ අතර, කමිඳු පන්දු 19කින් ලකුණු 23ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ.

අව­සන් තර­ගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු සම්මාන දිනා­ගත් අතර, තර­ගා­ව­ලියේ වීරයා සම්මා­නය දුනිත් වෙල්ලා­ල­ගේටහිමිවිය.

 

Advertiesment