දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැළසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් මුහුණ දී සිටින ගැටළු පිළිබඳ සාකච්ඡාවක් අගෝස්තු (07) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම සාකච්ඡාවට පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
දැනට අප රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000කි. නමුත් අප රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණි. ඉතිරි අවශ්‍යතාවය වන පොල්තෙල් මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය පොල්තෙල්, පිරිපහදු කළ හා නොකළ තෙල් වශයෙන් මෙරටට ආනයනය කරනු ලබයි.
දේශීය වෙළෙඳපළෙහි ආනයනික පොල්තෙල්වල මිල ගණන් අඩු මට්ටමක පවතින අතර දේශීය පොල්තෙල්වල මිල ගණන් ඉහළ මට්ටමක පවතී. මේ නිසා පාරිභෝගිකයා වැඩිපුර ආනයනික පොල්තෙල් පරිභෝජනයට යොමු වී ඇතී බැවින් තම කර්මාන්තශාලා පවත්වාගෙන යාම පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් උද්ගතව ඇති බව කර්මාන්තකරුවෝ පැවසූහ.
දැනට දේශීය පොල්තෙල් සඳහා අයකරනු ලබන වැට් බද්ද ඉවත් කරන ලෙසත් ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.කෙසේ වුවද මේ වනවිට පොල්තෙල් සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක් කරන බව කී අමාත්‍යවරයා දේශීය පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා කර්මාන්තකරුවන් වශයෙන් ඔවුන්ගේ ඉල්ලිම් ඇතුළත් යෝජනාවලිය කඩිනමින් සකස් කරන ලෙස උපදෙස් දුන්නේය.
සතියක් ඇතුලත මෙම යෝජනාවලිය තමන්ට ලබා දෙන ලෙසත්, ඉන් අනතුරුව එම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
කෙසේ වුවද මේ වනවිට වෙළෙඳපළේ ඇති පොල්තෙල් හා අනෙකුත් පරිභෝජනයට ගන්නා තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව පාරිභෝගික ජනතාවට ගැටළුවක් ඇති බව ද අමාත්‍යවරයා කීය. වෙළෙඳපළෙහි අලෙවි කෙරෙන පාරිභෝජනයට සුදුසු පොල්තෙල් කුමක්දැයි පහසුවෙන් හදුනාගැනීම සඳහා පාරිභෝගිකයාට කිසිදු නිර්දේශයක් නොමැති අතර පාරිභෝජනයට සුදුසු පොල්තෙල් පහසුවෙන් හඳුනාගැනීම සඳහා සහතිකයක් සහ පොල්තෙල් ඇසුරුම් සඳහා ස්ටිකරයක් වහාම ඉදිරිපත් කරන්නැයි පොල් සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.
පොල් සංවර්ධන අධිකාරිය විසින් පාරිභෝජනයට සුදුසු පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහක සළකුණක් ( Five Star) නිකුත් කළ ද මේ සම්බන්ධව මහජනතාවට කිසිදු දැනුවත්භාවයක් නොමැතිබව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
Lanka Newsweek © 2024