ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කර ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා සහනශීලී ආර්ථික වැඩපිළිවෙළක් සකසා දෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අගෝස්තු (07)වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශීය ණය බරකින් යුක්ත වන මේ රට එම ණය ගෙවීම සඳහා ඉපැයිය යුත්තේ රුපියල් නොව ඩොලර් බවත් ඒ අනුව අපනයන අභිමුඛ ආර්ථිකයක් හරහා ඩොලර් ඉපැයීමට වැඩපිළිවෙළක් සකසා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
2024 වර්ෂයේ මුල් කාර්තුවේදී අත් කරගත් ආර්ථික වර්ධන වේගය තවදුරටත් ශක්තිමත් කරමින් රට සංවර්ධනය කරා ගෙනයෑමට අවශ්‍ය සහාය ලබා දිය යුතුය යන කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
තවද වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙන් පෙට්‍රල් රුපියල් 150 සිට 400 දක්වා වැඩි කළා. ඒක ආණ්ඩුවට ලාභයි. පෙට්‍රෝලියම් එකට ලාභයි. අපේ අනෙක් විකල්ප කණ්ඩායම් කියන්නේ බලයට පත් වුණාම ඔවුන් පෙට්‍රල් රුපියල් 200ට දෙනවා කියලා. අප ඒක කියන්නේ නැහැ. අප කියන්නේ ඩිජිටල් තාක්ෂණය හරහා රුපියල් 400 ගෙව්වාට 200 ගෙවිය යුතු පුද්ගලයාට ඉතිරිය ගෙවෙන විදියට වැඩපිළිවෙළක් සකස් කරනවා. මේක දැන් කවුරු හරි කොපි කරන්න පුළුවන්. කොපි කරන්න කලින් හැන්සාඩ්ගත කරන්න කියලා මම ඉල්ලනවා. රුපියල් 400 ගෙවනවා ඉන්කම් කැටගරියට අනුව බැංකු එකවුන්ට් එකට ඉතිරි රුපියල් 200 බැර කරනවා. බෙන්ස් එකේ එන කෙනාට මොකටද රුපියල් 200කට පෙට්‍රල් දෙන්නේ. ඔහු රුපියල් 20,000ක කනවා හවසට. හැබැයි අමාරුවෙන් ගෙවන පුද්ගලයාට තමයි මේ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන්නේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කළ ගිවිසුම්වල ව්‍යුහාත්මක වෙනසක් කළ යුතුයි. එය කළ හැකියි. අපේ රජයකින් අප එය කරනවා. සියයට 30ක ලාභයක් ගැනීමට බදු ගැසීම අප කරන්නේ නැහැ. අපේ ව්‍යවසායකයන් දිරිගැන්වීමට පියවර ගන්නවා. ජනතාවගේ බදු බර අඩු කරමින් සහන ලබාදෙනවා.
ගෝඨාභය මහතා රට හැර යන විට අප පැනලා ගියේ නැහැ. අපට කතා කරලා සාකච්ඡා කළා. එවකට පැවැති ආර්ථික තත්ත්වය සැබෑවටම අප දැනන් හිටියේ නැති නිසා අප අමාරුයි කීවා තමයි. මොකද එකල පැවැති ආණ්ඩුව නිවැරදි ලෙස රටේ ආර්ථික තත්ත්වය අපට ප්‍රකාශ කළේ නැහැ. ආර්ථික පරිවර්තන පනතේ මූලික හරයට එකඟයි. අයි.එම්.එෆ්. සමඟ එක්ව කරන ඇතැම් දේවලට තමයි අප එකඟ නොවන්නේ. ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතුමයි. එසේ නැතිව ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නොහැකියි. තාක්ෂණය ගෙනැවිත් ව්‍යවසායකයන් එකතු කරමින් ආර්ථිකය ගොඩනංවා ලබා ගන්නා ආර්ථිකය ජනතාව අතර බෙදා හැරීම. අපේ අරමුණ ඒක. ජාතිකත්වය ගැන අපට ලොකු හැඟීමක් තිබෙනවා. ලාංකිකයන් ලෙස අප අනෙක් පක්ෂ සමඟ එක්ව සිටිනවා. විපක්ෂ නායකවරයා වටා පක්ෂ පාට භේදයකින් තොරව එක්ව සිටිනවා. රටේ ජනතාව බැඳ ඇති දම්වැල් ලිහා දැමීමට අප කටයුතු කරනවා.
ආහාරවලට සියයට 18ක වැට් එකක් ගැසීමට ආණ්ඩුව සැලසුම් නොකරන්නේ නම් ඒ බව නැඟිටලා කියන්න. අයි.එම්.එෆ්. ගිවිසුමේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න එපා කියලා සජබයේ අපට කියනවා. අපට ඔවුන් වෙනස් කරන්න එපා කීවාට අප වෙනස් කරනවා. අපනයන අභිමුඛ ආර්ථිකයක් හරහා ඩොලර් ඉපැයීමට අප සැලසුම් කරනවා. මෙරට බදු ප්‍රතිපත්ති වෙනස් කරනවා. බදු වෙනස් කළ හැකියි.' වගකීමකින් මම කියන්නේ.'
සියයට 10ක ආර්ථික වර්ධනයක් ලබා ගතහොත් 2046 වන විට සංවර්ධිත රටක් බවට පත් කළ හැකියි. මේ යන විදියට ගියොත් සංවර්ධනය වෙන්න 2075 විතර වෙනවා. ඩිජිටල් තාක්ෂණය හරහා රට සංවර්ධනය කරනවා. වෙළෙඳපොළ හැමදාමත් සාර්ථක නැහැ. සහල් මාෆියා යනාදිය ක්‍රියාත්මක වෙනවා. ශක්ති සහල් ව්‍යාපාරය නැවත අප පටන් ගන්නවා. ගොවි මහත්වරුන්ට අවශ්‍ය ශක්තිය අප දෙනවා. ප්‍රභාෂ්වර වැඩපිළිවෙළ නැවත අප පටන් ගන්නවා. මම කෝට් එකක් ඇඳගෙන හිටියාට ඇඳුමෙන් මාව මනින්න එපා. අප ගොවියාට හයියක් වෙනවාමයි. කෘෂි කර්මාන්තයේ නියැළෙන ලක්ෂ ගණනක් ගොවීන් සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් අප ලබාදෙනවා. ගොවි කටයුතු ඉහළ නංවා නිෂ්පාදන කටයුතු වැඩි කරනවා. ඒ ඒ ප්‍රදේශවලට අදාළ කෘෂි ගබඩා ස්ථාපිත කරමින් තාක්ෂණය ද එකතු කර ගනිමින් ගොවි ජනතාවට අත්වැලක් වෙන බවයි.
Lanka Newsweek © 2024