පැරිස් ඔලිම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තරගයට එක්වූ තරුෂි කරුණාරත්න මිනිත්තු 2:07.76කින් තරගය නිම කොට අවසන් පූර්ව වටයට ඍජුව සුදුසුකම් ලබා නොගත් හෙයින් යළි ‘රිපිචේජ් වටයේදී’ මිනිත්තු 2:06.66ක කාලයක් ගත කළාය. මේ තත්ත්වය මත ආසියානු රන් පදක්කම් දිනූ තරුෂි කරුණාරත්නගේ පැරිස් ඔලිම්පික් ධාවනය නිමාවට පත්වූවාය.
19 හැවිරිදි තරුෂිගේ මෙතෙක් හොඳම පෞද්ගලික දක්ෂතාව මිනිත්තු 2:00.66ක් වුවද එය ඉක්මවා යෑමට හෝ හැකියාවක් උදා නොවූ බැවින් ඇය කනගාටුවෙන් යුතුව තරග බිමෙන් ඉවත් වූවාය.
තරගයෙන් අනතුරුව කඳුළු පිරි දෙනෙතින් යුත් තරුෂි පැවැසුවේ “සමාවෙන්න… මට ලොකු දෙයක් කරන්න බැරි වුණා. මට සමාවෙන්න” යනුවෙනි. පළමු වටයේදී සමස්ත ක්‍රීඩිකාවන් 50කින් 45 වැනි ස්ථානයට පත් වූ තරුෂි ඇතුළු එම වටයෙන් හැලී ගිය ක්‍රීඩිකාවන් 30ක් ‘රිපීචේජ් වටයේදී’ තරග කළ අතර එහිදී තරුෂි 27 වැනි ස්ථානයට පත්වූවාය. මීටර් 800 මූලික වටයේ හොඳම දක්ෂතාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරීමට ඉතියෝපියාවේ ටිසිගේ ඩුග්මා සමත් වූවාය.
තරුෂිගේ පසු බැසීම පිළිබඳ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා සදහන් කර සිටියේ පළමු මීටර් 200දී තරුෂිගේ සුපුරුදු ධාවන රිද්මය බිඳ වැටුණු බවය. “සාමාන්‍යයෙන් තරුෂි පළමු මීටර් 200 තත්පර 28කින් දුවලා මීටර් 400 වෙද්දී තත්පර 58ක් වෙනවා. නමුත් පැරිස් තරගයේදී තරුෂි පළමු මීටර් 200 තත්පර 26කට දිව්වා. එහෙම වුණාම ධාවන රිද්මය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ලෝකයේ දක්ෂතම ක්‍රීඩිකාවෝ තරගයේ සිටිය නිසා ඔවුන් ආරම්භයේදීම වේගයෙන් ඉදිරියට ගියා. තරුෂිට වුණේ ඔවුන් සමඟ එල්ලිලා දුවන්න. එහෙම වුණාම ආරම්භක කාලය වැඩි වෙලා අවසාන වෙද්දී රිද්මය බිඳ වැටෙනවා. ලොකු දෙයක් කරන්න හිතාගෙන ඇය ආවේ. නමුත් සියල්ල වෙනස් වුණා” ප්‍රනාන්දු මහතා පැවැසීය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වංශ කතාවේ මීටර 800 කාන්තා ඉසව්ව එකම ක්‍රීඩිකාවක් හෝ මිනිත්තු දෙකකට අඩුවෙන් නිම කොට නැත. 1992දී ශ්‍රියාණි ධම්මිකා මැණිකේ හා 2020දී නිමාලි ලියනාරච්චි මේ ඉසව්වෙන් ඔලිම්පික් උලෙළ නියෝජනය කළ ද මූලික වටයෙන් ඉවතට ගියහ.
Lanka Newsweek © 2024