අපේ රටේ ඇත්තටම ගේමක් ගැහුවා නම් ඒ ගමෙන් ආපු අය .ගමේ ඉදලා කොස් දෙල් බතල කාපු අය . ලොකු ඉස්කෝලෙක නම අස්සෙ හැංගිලා, ඕබී එකේ අයියලගෙන් ගොඩ ගිහිල්ලා, ඉස්කෝලෙ යාළුකමෙන් ටීම් එකට රිංගපු ගොබ්බයො කරපු මඟුලක් නෑ. කළා නං කළේ මේක කාලා දාපු එක. මොනවා හරි කරලා හම්බකරපු එක. බඩ වඩාගෙන ගොඩ ලොකුකරගත්ත එක.
ගමේ අය එයාලා හැම වෙලාවකම ඉදිරිපත් වෙන්නෙ තමන් වෙනුවෙන්. ඉස්කෝලෙ වෙනුවෙන්. සෙට් එක වෙනුවෙන්. ආගම වෙනුවෙන්. රට වෙනුවෙන් නෙමෙයි. හුඟක් එවුං හිතාගෙන ඉන්නෙ රටට වඩා සමහර ඉස්කෝල ලොකුයි කියලා. ඒ ඉස්කෝල ලොකුයි තමයි අපි නෑ කියන්නෙ නෑ. ඒ ඉස්කෝලවලට යන එකම තමන්ට අභිමානයක් කරගත්තට වරදක් නෑ. ඒත් වැරදි තැන් සහ අවුල්සහගත වැඩ තියෙනවා.
ලංකාවේ ලොකු ඉස්කෝලවලින් ඇවිල්ලා රටට ලෝකෙට මාර සේවයක් කරපු උදාර මිනිස්සු ඉන්නවා. ඒ අස්සෙ ගමෙන් ඇවිල්ලා රට ගිනි තියලා රටත් කාලා ගමත් කාපු අය ඉන්නවා. ඒත් මේ දෙකේම අගයන් ගත්තම කෝක ද වැඩි කෝක ද අඩු කියලා ඔයාලම හිතන්na.
ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙනාපු මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙ වීරවරිය සුසන්තිකා ජයසිංහ. එයා ගමෙන් ආපු කෙනෙක්. කොස් දෙල් බතල කාපු යකඩ කෙල්ලෙක්. එයාට පෝෂණ ඌනතා ආවෙ නැත්තෙ සල්ලි තිබුණු නිසා නෙමෙයි. ගමේකම නිසා. ගමේ හයිය නිසා. පස්සෙ සමහර අයට ඒක අමතක වෙලා ගියාට අපිට තාම ඒවා මතකයි.
පසුව සනත් ජයසූරිය. සනත් කියන්නෙ ලෝක පූජිත ක්‍රීඩකයෙක්. ඉන්දියාවෙ සාරිවලට නම දැම්මා සනත් ජයසූරිය කියලා. ඒ තරමටම සනත් වැඩකාරයෙක්. සනත්ලා නිසා ක්‍රිකට් අතහැරපු මිනිස්සු හිටියා. අපේ රටට එක්දහස් නවසිය අනූහයේ ලෝක කුසලානය ගෙනත් දෙන්න මහන්සි වුණු මිනිස්සු අස්සෙ සනත් හිටියා. ඒ සනත් අයිති ගමට. සනත් ගමෙන් ඇවිල්ලා කොස් දෙල් කාලා පෙන්නපු වැඩකිඩ පෙන්නන්න පුළුවන් කෙනෙක් අදටත් ලෝකෙ බිහිවෙලා නැත
.ඇත්තටම ලියනවා නම් මුළු අනූහය ටීම් එක ගැනම ලියන්න වෙනවා. අර්ජුන රණතුංග වුණත් ඔය වල්ලෙම පොල් ගෙඩියක් තමයි. එයා කොළඹ ආනන්දයට ගිය බව ඇත්ත. ඒත් අර්ජුන උඩුගම්පොළ කියන ගමේ කොල්ලෙක්. එයා ගමේ එකෙක් විදියට ඇවිල්ලයි ලංකාවෙ ක්‍රිකට් ගොඩදැම්මෙ
.තව ක්‍රීඩකයෙක් නම් මාලිංග? අද මොනවා කිව්වත් මාලිංග කියන්නේ ගමේ එකෙක්. ගමේ පිට්ටනියෙ ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගහපු කෙනෙක්. ගමේ අය සමග ෆුට් සයිකලේ පිට්‍ටනියට ආපු මාලිංග, අද ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වුණාට එයා ගමේ කොල්ලෙක්.
ලංකාව ඔලිම්පිකවලට අරගෙන ගිහිල්ලා අපේකම උස්සගෙන ගිහිල්ලා ගේමක් ගහන අපේ කෙල්ල තරුෂි. ඒ කෙල්ල ගමේ කෙල්ලක්. මල්ලවපොරවලින් අපේ නම ලෝකෙට අරගෙන යන කෙල්ල ගමේ එකියක්. එයා සඳලංකාව පැත්තෙ ගමක ඉපදිලා ලොකු ගේමක් දීලා ලෝකෙට ගියපු කෙනෙක්.
දමයන්ති දර්ශලා, සුගත් තිලකරත්නලා, ශ්‍රියානි කුලවංශලා ඔක්කොම එහෙමයි. හැමෝම ගමෙන් ආපු අය. බර උස්සපු චින්තකලා ආවෙත් ගමෙන්.
මේ වෙලාවෙ මුළු රටම කතාවෙන කෙල්ලො ටිකක් දැක්කද? ඒ ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම. ඒකෙ ඉන්නෙ කොළඹ කෙල්ලො එක්කෙනයි. අනිත් ඔක්කොම ගමේ උන්. රටක් විදියට ගේමක් ගහනවා නම් ඒ ගමෙන් ආපු එවුං. කොළඹ ඉපදිලා ගමෙන් ඇවිත් ගමෙන් ගේමක් ගහපු අයත් මේ අතර ඉන්නවා. කොහොම වුණත් මේ වෙලාවෙ ගමේ උන්ට අපි රෙස්පෙක්ට් කරනවා.
ගමේ කොස් බතලවල හයිය පෙන්නන්නවට. ගමේ උන්ගෙ ගැම්ම මාරයි. ඒක කොළඹ උන්ට වඩා වැඩියි. ගමේ උන් හරි ස්මාර්ට්. උන්ගෙ දරාගැනීමේ ශක්තිය මාරම වැඩියි. එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ උදාහරණවලින් මේ විශාල කතාව මනින්න බෑ. ඕනෑ තරම් මේ කතාවත් එක්ක තර්ක කරන්න පුළුවන්. වාද කරන්න පුළුවන්.
ඉස්සර ‘කොළඹට කිරි ගමට කැකිරි’ සංකල්පය අදට වලංගු නෑ. නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නලා වගේ අය මේ කුල්‍ටූර් හරමානිස් සංකල්පයට පහරදීලා අලුත් හීනයක් ගමේ එකාලට දුන්න පරම්පරාව. ලංකාවෙ නෙට්බෝල් කාලයක් කරේ තියාගෙන ගිය තර්ජනී ශිවලිංගම්ලා ආවෙ යාපනේ ඈත ගමක ඉඳලා
.ඒත් අවාසනාවකට තියෙන්නෙ සමහරුන්ට ආයෙ ගමට යන්න පාර මතක නැති වෙන එක. ඒක හරි අපරාධයක්. මොකද ගමේ එකෙක් ආයෙ ඉපදෙන කොට ඌට පාර දන්න කෙනෙක් පාර කිව්වම පැටලෙන්නෙ නැතිව කොළඹ හොයාගන්න පුළුවන්. එහෙම නැතිව අතර මගදි පාර වැරදිලා වෙන වෙන පාරවල්වලට හැරුණු අය ඕනෑ තරම් ඉන්නවා. ඒ හැමෝම අපරාදෙ. මොකද ඒ ලංකාවෙ නම ලෝකෙට අරගෙන යන්න හිටපු එවුං.
එහෙමනම් හැම වෙලාවකම මේක අමතක නොකර හිතේ තියාගන්න. ගමෙන් ආපු උන් හයියට හිටපු හැටි. මේ වෙලාවෙ ඒක මතක් වුණේ, අපේ කෙල්ලො ටික හින්දා. ඉස්සරහට තව තව දේවල් වෙයි. ඇයි අපේ ක්‍රිකට් කොල්ලො. එයාලත් මේක හැමදාම අපිට අමතක වෙන්න නොදී මතක් කරනවනෙ…
Lanka Newsweek © 2024