Monday 14th of October 2024

English Tamil
Advertiesment


රටේ ජනතාවගෙන් 66%ක්ම බොන්නේ අපිරිසිදු වතුර


2024-08-05 14408

වතුකරයේ ජල ප්‍රශ්නය උග්‍රයි

පිරිසිදු ආරක්‍ෂිත වතුර නැති පිරිස එක්කෝටි හතළිස් හත් ලක්‍ෂයකට වැඩියි

නාගරිකව 31.4% ග්‍රාමීයව 71.8% වතු ආශ්‍රිතව 96.8% කටම ආරක්‍ෂිත පානීය ජලය නැහැ

ජල ගුණත්ව දර්ශකයේ ලංකාව ඉන්නේ 117 වැනි තැන

අපේ ජලයේ ගුණත්වය 46.7%යි

මේ මිහිමත වැඩිපුරම ඇත්තේ ජලය ය. එම ප්‍රමාණය 71%කි. ගොඩබිම ප්‍රමාණය 29%කි. එම ජලයෙනුත් සියයට 94.7% ක්ම ඇත්තේ ලවණ මිශ්‍ර සාගර ජලයය. ප්‍රයෝජනයට ගත හැකි ජලය පවතින්නේ 2.6%ක් පමණි. එම ප්‍රමාණයෙනුත් වැඩි හරියක් ග්ලැසියර් සහ අයිස් තුළ තැන්පත්ව පවතින අතර ඉන් පානය කිරීමට සුදුසු ජලය ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයකි. එසේම ලොව තුළ පවතින සෑම රටකටම පානය කිරීමට තරම් සුදුසු ජලය ස්වභාවධර්මයෙන් ලැබී නැත. ඒ අතරින් ශ්‍රී ලංකාවට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මීට දශක කීපයකට පෙර මේ පුංචි රටේ අපේ මුතුන් මිත්තන් පානය කළේ අද මෙන් පිරිපහදු කළ ජලය නම් නොවේ. කුඹුරට ගියවිට දෙපාවෙන්, ඇළෙන් දොළෙන් එන දිය බිඳකින් පවස නිවා ගත්තේ ඒ තුළ කිසිදු රසායනිකයක් හෝ කිසිදු අපද්‍රව්‍යයක් අඩංගු නොවූ බැවිනි. නමුත් අද ඒ තත්ත්වය දකින්නට නැත

.

අද ඇළ දොළෙන් තබා ගෙදර තියෙන ළිඳෙන්වත් වතුර උගුරක් බීමට දෙවරක් නොව සිය දහස් වරක් සිතිය යුතු මට්ටමට ජල මූලාශ්‍ර දූෂණය වී තිබේ. අප මේ බව ප්‍රකාශ කළේ නිකම් නම් නොවේ. ඒ පසුගියදා නිකුත් කළ වාර්තාවක් හේතුවෙනි. එම වාර්තාව සකස් කොට ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය යුනිසෙෆ් ආයතනය සමග එක්වය. ඒ 2021 වසරේදීය. 2021 වසරේ සිදුකළ සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ දැන් ය. ඒ 2024 ජූලි මස 12 වැනි දිනයි. එම වාර්තාවට අනුව මෙරට බහුතර ජනතාව පානය කරන ජලය බීමට සුදුසු තත්ත්වයේ නොපවතින අතර බොහෝ ජල මූලාශ්‍ර අනාරක්‍ෂිත මට්ටමේ පවතී

.

මේ වනවිට ජලය මූලික මිනිස් අවශ්‍යතාවක් සහ මූලික අයිතිවාසිකමක් වී හමාරය. එම මූලික අවශ්‍යතාව නොමැතිව මේ මිහි මත කිසිදු සත්වයෙකුට හෝ ශාකයකට ජීවයක් නොමැත. එතරම් වැදගත්කමක් හිමිව ඇති ජල සම්පතේ වටිනාකම සහ අප පානය කළ සහ තවමත් පානය කරන ජලයේ ඇති අහිතකර බව මෙම නවතම වාර්තාවෙන් මොනවට පැහැදිලි කොට තිබේ

.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ නවතම වාර්තාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පීඨ මහාචාර්ය සමත් ධර්මරත්න මහතාද අදහස් දක්වා තිබිණි. අතුකෝරල මහතා පවසන ආකාරයට ධරණීය සංවර්ධන අභිමතාර්ථයන් පිළිබඳ සලකා බලන කල ආරක්ෂිතව කළමනාකරණය කරන ලද පානීය ජල සේවාවන් සඳහා ලෝකයේ සෑම රටක්ම නිර්ණායකයන් තුනක් සැපිරිය යුතුය. එම නිර්නායකයන් තුන වන්නේ

 

Accesibility (ජලය සඳහා වූ ප්‍රවේශය)

 Availability (ජලය ලබාගැනීම සඳහා පවතින බව)

 Safe (ජලයෙහි ආරක්ෂිත බව)

 

මින් පළමු කරුණ වන ප්‍රවේශය එසේ නැතිනම් වතුර පහසුවෙන් ලබාගත හැකි විය යුතුය යන කාරණය ගැන බැලුවහොත් වතුර ලැබෙන මූලාශ්‍රය තමන්ගේ නිවස හෝ පරිශ්‍රය තුළ හෝ ඒ අවට පිහිටිය යුතුය. ඒ තුළින් පහසුවෙන් ජලය ලබාගත හැකිය. දෙවන කාරණය ලෙස දැක්වෙන්නේ තමන්ට අවශ්‍ය ඕනෑම වේලාවක ලබා ගැනීමට ජලය පැවතිය යුතුය යන්නයි. තුන්වනුව ආරක්‍ෂිතව මෙන්ම පහසුවෙන් ජලය ලබාගැනීමට හැකිවිය යුතුය.

[කුමාරි පතිරාජ]

Advertiesment