Wednesday 9th of October 2024

English Tamil
Advertiesment


නාමල්, කටුස්සා, අලියා, සහ පොහොට්ටුව


2024-08-04 14433

 
(මහාචාර්ය මිල්ටන් රාජරත්න)

 

මේ ලිපිය වෙසෙසින්ම නාමල් රාජපක්ෂ, පොහොට්ටු පක්ෂය, සහ වත්මන් දේශපාලන හැඩගැස්ම අරබයා ලියනු ලැබේ. නාමල් මෙන්ම පොහොට්ටු පක්ෂය ද රාජපක්ෂ පවුලේ නිර්මාණයකි. එබැවින් පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන නිලතල රාජපක්ෂ පවුල විසින් දරනු ලබන අතර එහි ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මෑතකදී පත්කරගනු ලැබීය. එම පත්වීම ලැබීමෙන් පසු නාමල් රාජපක්ෂ කෙරෙන් උමතුවක් දිස්වන්නට විය. ලොකු ලොකු මාතෘකා කතා කරන්නට පටන් ගත්තේය. ජ්‍යෙෂ්ඨයන්ට ගුරුහරුකම් දෙන්නට ද පටන් ගත්තේය.  

මහින්ද රාජපක්ෂ මෙන් නාමල් ද ක්‍රමයෙන් දේශපාලන පරිණතභාවයට පත්වෙනු ඇතැයි අපි බලාගෙන සිටියෙමු. ඔහු සෑහෙන අත්දැකීම් සම්භාරයක් රැස්කර ගෙන ක්‍රමානුකූලව නායකත්වයට පත්වනු ඇතැයි ද සිතුවෙමු. පියාගේ අඩිපාරේ යමින් ඔහු උඩු රැවුල වවන්නට පටන්ගත්තේය. කුරහන් සාටකය පැළඳීමට පටන්ගත්තේය. මුල් කාලයේ දී ඔහු කතාවට දක්ෂ නොවුනත් ඉක්මනටම කතාකිරීම ප්‍රගුණ කළේය. සමබර ලෙස කතා කිරීමටත් එඩිතර ලෙස කතා කිරීමටත් ඉගෙනගත්තේය. හොඳ දේශපාලකයෙකුගේ පෙරමග ලකුණු පෙන්නුම් කළේය. 

වැඩිකල් නොගොස් ඔහුට හෙනහුරා කඩාපාත් වූයේය. ඒ පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක තනතුර ලැබීමෙනි. එතැන් පටන් ඔහු ප්‍රවීනයෙකු බව අඟවමින් කතාකරන්නට පටන්ගත්තේය. නොදන්නා දේවල් ද කතාකරන්නට පටන් ගත්තේය. සැරට කතාකරන්නටත් පටන්ගත්තේය. රාජපක්ෂ පවුල අරගලකරුවන්ගෙන් බේරා දුන් රනිල් වික්‍රමසිංහ වැනි ප්‍රවීනයන් හා නාමල්ගේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් ද විවේචනය කිරීමට පටන් ගත්තේය. ඔවුන්ට ගුරුහරුකම් දෙන්නටත් පොහොට්ටු පක්ෂයේ දේශපාලන හරය සහ සාරධර්ම යනාදිය ගැන ටියුෂන් දෙන්නටත් පටන්ගත්තේය. දේශපාලය කිරීමට උඩු රැවුලත්, සාටකයත් සෑහේයැයි සිතුවේය. මේවා බලා උන් අපට මතක් වූයේ රන් මාලය කරේ බැඳි කටුස්සාය. රන් මාලය බැඳි කටුස්සාට තමා ලොක්කෙකු ලෙස හැඟුනේය. එබැවින් ඔහු සිය හිස පහත් කෙරුවේම නැත. “කෙල්ලං වලලං - කොල්ලං ගොඩගං” කීමට තබා කෑමක් කන්නටවත් හිස පහත් කළේ නැත. නොබෝ දිනකින්ම කටුස්සා සියල්ලන්ගෙන් ප්‍රතික්ෂේප විය.

නාමල් නැගී ගෙන ආවේය.වේගය වැඩුණේය. ආවේගය ද වැඩුණේය. “නැපෝලියන් ගැහුවේය, දිනුවේය, වැටුණේය” යනුවෙන් එකල 10 පන්තියට නිර්දේශිත ඉතිහාස පොතක වූ වැකියක් සිහියට ආවේය. පොහොට්ටු පක්ෂය ජනතාවට සේවය කරන පක්ෂයක් ද නැතහොත් රාජපක්ෂ පවුලට සේවය කරන පක්ෂයක් ද යන්න තෝරා ගැනීමේ හෝරාව පසුගියදා එළඹ තිබුණි. නාමල්ගේ තේරීම වූයේ පොහොට්ටු පක්ෂය වනාහී සිය පවුලට සේවය කළ යුතු පක්ෂයක් යන්නයි. එමෙන්ම අරගල කරුවන්ට බයේ තැන තැන සැඟවි සැඟවී පණ ගැහි ගැහී ජීවත් වූ සිය පවුල වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ බෙල්ල දුන් බවද නාමල්ට අමතකව ගියේය. පොහොට්ටු පක්ෂය රාජපක්ෂ පවුලේ වහලෙකු බවට පත්කර ගන්නා ලද්දේය. අප සිතා සිටියේ ‘වැල් පාලමෙන්’ එතෙරවන රනිල්ට පොහොට්ටුව පිළිගැන්වෙනු ඇතැයි කියාය. 

මින් ඉදිරියට නාමල්ට තබා මහින්ද රාජපක්ෂටවත් පක්ෂපාතී කුලුපගයින් සොයා ගැනීම දුෂ්කර වනු ඇත. ඒ මක්නිසාද යත් මෙතෙක් ඔවුන් සමග සිටි හිතවතුන් රට වෙනුවෙන් තීරණයකට එළඹ “ලක්මාතාව වැල් පාලමෙන් එතෙර කිරීමේ” කාර්යයේ දී රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට නව පෙරමුණක් හදාගන්නා බැවිනි. එළඹෙන මැතිවරණවලදී ආණ්ඩු හා පළාත්පාලන බලය ද ඔවුන් තහවුරු කරගනු ඇත. නාමල් කාලයාගේ ඇවෑමෙන් පොහොට්ටුවේ නායකයා වන විට පොහොට්ටුවේ පෙති ගිලිහී නටුව පමණක් ඉතිරිව තිබෙනු ඇත. “නටුවෙ කටු” සිඹීමට නාමල්ට සිදුවනු ඇත. පොහොට්ටු මරාලයක් නිසා ආණ්ඩුවක් ද ජනාධිපතිවරයෙක් ද රාජපක්ෂ පවුල ද විනාශවිය. එනයින් බලන කල පොහොට්ටුව වනාහී රාජපක්ෂ පවුල පමණක් නොව තමා ද කාබාසිනියා කිරීම පිණිස එවූ පිල්ලි ලකුණක් යැයි සිතා රනිල් ස්වාධීන අපේක්‍ෂකයෙකු වූවේ යැයි අනුමාන කළ නොහැකිද? 

නාමල්ගේ දේශපාලනය ගැන ලිවීමේ දී තවත් කතාවක් මතක් වේ. ඒ වනාහී මුනිදාස කුමාරතුංගයන්ගේ ‘හීන්සැරය’ නම් කතා පොතේ එන ‘අලින්නේ අපේ කැරුම්’ යන කතාවයි. අලියෙකුටත් වඩා බලයක් ඇතැයි කයිවාරු ගහන කටුස්සෙකු අලියා මට්ටු කිරීමට අලියාගේ හොඬය තුළට රිංගා ගෙන මොළය සූරමින් අලියාට වද දෙන්නට පටන් ගත්තේය. අලියා කලක් ඉවසාගෙන සිට බැරිම තැන හීන්සැරේ දියඹට වැද හොඬය තුළට වතුර පුරවා ගත්තේය. හොඬය තුළ වතුර පිරෙත්ම එතෙක් සෙල්ලම් දැමූ කටුස්සා බිය පත්ව, දිය බත්ව, විකර්ෂණය, සන්කර්ෂණය, හා පරිකර්ෂණයවී හොඬයෙන් එළියට බටුයේය. එසේ බට කටුස්සා සිය සුපුරුදු කැලය නොදිටීය. නුපුරුදු දියඹ දිටීය. කටුස්සා නන්නත්තාර විය.අලියා සතුටින් කල් ගෙවීය.

 

Advertiesment