මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් එක්ව ‘Atlas Angel’ යුද අභ්‍යාස පුහුණුවක් ලංකාවේදී පැවැත්වීමට නියමිත ය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය අද (අගෝ. 2) නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය‘Atlas Angel’ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ වී ඇත්තේ, ස්වභාවික විපත් සහ මිනිසා විසින් ඇති කළ ආපදා අවස්ථා සඳහා සුදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති හැකියාව වැඩි දියුණු කිරීම ය.
අගෝස්තු 5 වන දා සිට අගෝස්තු 9 වන දා දක්වා මෙම යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිත බව ඇමෙරිකන් තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් සමග එක්සත් ජනපදයෙන් පුද්ගලයන් 70 කට අධික සංඛ්‍යාවක් සහ C-130 හර්කියුලිස් ගුවන් යානා දෙකක් මෙම අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිත ය.
අමෙරිකන් තානාපති ජූලි චංග් සඳහන් කර ඇත්තේ, ආපදාවලට දේශසීමා අදාළ නොවන බව ත් ලොව පුරා ආපදා සිදුවන වාර ගණන සහ ඒවායේ ත්‍රීවතාවය වැඩි වෙමින් පවතින බව ත් ය.
‘Atlas Angel’ වැනි ප්‍රායෝගික අභ්‍යාස හරහා අපගේ ප්‍රවීණත්වය බෙදා ගැනීමෙන් ආපදාවකදී ඉක්මණින් හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට ප්‍රජාවගේ හැකියාවන් ශක්තිමත් කරන බව තානාපතිවරිය තවදුරට ත් සඳහන් කර ඇත.
මේ පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, මොන්ටානා ප්‍රාන්ත හවුල්කාරීත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘Atlas Angel’ අභ්‍යාසයෙහි විෂය කරුණු හුවමාරුව මගින් මානුෂිය ආධාර සහ ආපදා සහන පිළිබඳව උපායමාර්ගික පෙරදැක්මක් වර්ධනය කරන බව ය.
මෙම අභ්‍යාස මගින් සිදු කරන සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මගින් කලාපයේ සාමුහික ආරක්ෂාව සඳහා අන්තර් ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරන බව ත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය අතර සම්බන්ධතාව වැඩි දියුණු කරගැනීමට සඳහා ඉඩකඩ සලසන බව ත් ඔහු සඳහන් කර තිබේ.
Lanka Newsweek © 2024