නේවාසික ප්‍රතිකාර සඳහා ලක්ෂ 3ක්
සියලු රජයේ පාසල්, රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂිත පාසල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය අගෝස්තු (01) සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රුපියල් මිලියන 7112ක (කෝටි 711.2) මුදලක් ආයෝජනය කරමින් සුරක්ෂා රක්ෂණාවරණය සිසුන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කළ බව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට අගෝස්තු (01) එක්වෙමින් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සුරක්ෂා සිසු රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන අතර අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ගිවිසුමට අත්සන් තැබීය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රියන්ත පෙරේරා මහතා අත්සන් තැබීය.
මෙම රක්ෂණාවරණය මඟින් රජයේ හෝ පෞද්ගලික රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා ප්රතිලාභ ලෙස රුපියල් ලක්ෂ 3ක් ද බාහිර ප්‍රතිකාර සඳහා ප්රතිලාභ වශයෙන් රුපියල් 20,000ක් සහ අසාධ්‍ය රෝග ප්රතිලාභ ලෙස රුපියල් 1,500,000ක් ද ලබාදීම සිදු කරන්නේ යැයි ඇමැතිවරයා පැවසුවේය.
අනතුරු රක්ෂණාවරණ මඟින් පූර්ණ සදාකාලික අකර්මණ්‍යතාවකදී රුපියල් 200,000ක් ද සදාකාලික අර්ධ අකර්මණ්‍යතාවකදී රුපියල් 150,000ක් ද තාවකාලික අකර්මණ්‍යතාවකදී රුපියල් 25,000 සිට 100,000 දක්වා ද ප්රතිලාභ හිමි වන බව ද ඇමැතිවරයා කීය.
ජීවිත රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රුපියල් 180,000කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට අමතරව ‘අස්වැසුම’ වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මවුපිය, නීත්‍යනුකූල භාරකරු වියෝවකදී සිසු දරුවකු සඳහා රුපියල් 75,000 බැගින් ද එක් මරණයක් වෙනුවෙන් වෙන් කරන උපරිම මුදල රුපියල් 225,000ක් වන බව ද ඇමැතිවරයා කියා සිටියේය.
පවුලේ සියලු සිසුන් අතර එම මුදල සමානව වෙන් කරන බවත් මවුපියන් දෙදෙනාගේම හෝ නීත්‍යනුකූල භාරකරුගේ මරණ සඳහා වෙන් වෙන් වශයෙන් මෙම රක්ෂණාවරණය හිමි වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය සඳහා නොමිලේ කාඩ්පතක් හිමි වන අතර මෙම රක්ෂණාවරණය ඩිජිටල්කරණය කර තිබීම ද විශේෂත්වයකි.
Lanka Newsweek © 2024