බහුතරයේ මතයට හිස නොනමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහය පළ නොකර නාමල් රාජපක්ෂ හෝ ධම්මික පෙරේරා යන මහත්වරුන්ගෙන් අයෙකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළ හොත් ඊට එරෙහිව ජනාධිපතිවරයාට ඍජුව සහ ප්‍රසිද්ධියේ සහය පළ කිරීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 75ක් සහ දිස්ත්‍රික් නායකයින් 12ක් තීරණය කර සිටිති.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික් නායකයින් අවධාරණයෙන් යුතුව ප්‍රශ්න කර සිටින්නේ, මේ මොහොතේ සිතා බැලිය යුත්තේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය ද, නොඑසේ නම් රටේ සහ සුවහසක් ජනතාවගේ අනාගතය ද කියාය.
මේ මොහොතේ තීන්දු තීරණ ගත යුත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ සහ ජනතාවගේ අනාගතය ගැන සිතා යැයි අවධාරණය කර සිටින මේ කණ්ඩායම මෙම ස්ථාවරයට පැමිණ සිටින්නේ කොළඹ මලලසේකර මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ දී සඳුදා (22) රාත්‍රියේ පැවති විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක දී බව "lankanewsweek" සාක්කි-සාධක සහිතව තහවුරු කර කියා සිටියි.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහත්වරුන් හමු වී සිදු කළ සාකච්ඡාවක දී නාමල් රාජපක්ෂ මහතා කියා තිබෙන්නේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජනපතිවරණය ජය ගැනීමට තමාට හැකියාව සහ ශක්තිය ඇති බවය.
Lanka Newsweek © 2024