Tuesday 15th of October 2024

English Tamil
Advertiesment


දිළිඳුකම පිටු දැකීමට සජබ රජයක් යටතේ ජන සවිය යළිත් 


2024-07-21 14473

 

සිය දූ දරුවන්ට වේල් තුන කන්න දෙන්න නොහැකි ලක්ෂ ගණනක් දෙමව්පියන් සිටිනවා 

 

සහනාධාර දිය යුත්තේ සදකලිකව නොව කාල රාමුවකට යටත්වයි 

 

 

රටේ දුප්පත්කම මේ වන විට මහා පරිමාණයෙන් වැඩි වී ඇති අවස්ථාවක කිසිවෙකුටත් ඒ සඳහා විසඳුමක් නොමැති බවත් එදා දුප්පත්කම තුරන් කරන්න ජන සවිය වැදගත් වූ බවත් එහි සහනාධාර ලැබුණේ අවුරුදු දෙකකට බවත් ඒ කාලයේ ඇති තරම් දුප්පත් ජනතාවට ආහාර පාන ලබා දී, ඉතිරි කිරිමට, පාරිභෝජනයට, ආයෝජනයට පවා මුදල් ලැබුණු බවත් ඒ හයිය ලැබුණේ සදාකාලිකව නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ජන සවිය යටතේ සදාකාලික සහනාධාර වැඩ සටහන් ප්‍රතික්ෂේප කළ නිසා අදටත් අවශ්‍ය වන්නේ සදාකාලික සහනාධාර වැඩ සටහනක් නොව කාලවකවානු සහිතව සෑම දුප්පත් පවුලකට ම දුප්පත්කමින් අත්මිදීමට ස්ව ශක්තියෙන් සහ ස්වෝත්සාහයෙන් ප්‍රගතිශීලී ජීවන ගමනේ ඉනිමගේ ඉදිරියටම යාමට අතහිත ලබා දෙන ජන සවිය හා සමාන දුප්පත්කම තුරන් කිරීමේ වැඩ සටහනක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, කළුතර අගලවත්ත කෙවිටියාගල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 334 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්ද කෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කෙරිණ.

වේල් තුන කන්න නැති ජනතාවක් සහ දූ දරුවන් අප රටේ සිටින බවත් මේ ගැන සංවේදී විය යුතු බවත් ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතු බවත් අපේ දූ දරුවන්ට තුන් වේල කන්න නොහැකි නම් ඒ ගැන රටක්-ජාතියක් ලෙස දුක් විය යුතු බවත් එසේ නම් දූ දරුවන්ට කන්න දෙන්න නොහැකි දෙමාපියන් ලක්ෂ ගණනින් රටේ සිටින විට ඒ කරුණු ගැන අතිශය ලෙස සංවේදී විය යුතු බවත් මේ සියල්ල බරපතළ කරුණු බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

මේ රටේ ජනතාව දුක් ගින්නෙන් සහ බඩ ගින්නෙන් මුදවා ගැනීම අපගේ වගකීම බවත් මෙරට ජනතාවට දුක්ඛිත ජීවිතයක් උදාකර දීම පාලකයන්ගේ අරමුණු නොවිය යුතු බවත් ජනතාව දුකින් මුදවා ගැනීම සියලු පාර්ශවයන්ගේ අරමුණ,යුතුක සහ වගකීම විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. 

එසේ ම මේ දූ දරුවන් පොහොසත් කළ යුත්තේ මිල මුදල් සහ ඉඩකඩම් ලබා දී නොව තමාගේම දක්ෂතාවයෙන් සහ හැකියාවෙන් හොඳ ජීවිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබා දීමෙන් බවත් තමාට බැන වැදුනත්-උසුලු විසුලු කළත්-අපහාස කළත් ඒ ගමන තමා නොනවත්වන බවත් දැනුමින් සහ අධ්‍යාපනයෙන් සවි බල ගැන්වූ සුහුරු පුරවැසියකු අප බිහි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය. 

සමගි ජන බලවේගය මගින් ක්‍රියාත්මක කෙරෙන හුස්ම වැඩ සටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩ සටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩ සටහන යටතේ පාසල් 334ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3698ක් වැය කර තිබේ.  

Advertiesment