නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ සිදු වූ දුෂිත ක්‍රියාදාමය හේතුවෙන් අහිංසක ජනතාව දැඩි ලෙස අසරණ වී ඇති බවත් මේ ජනතාව අමාරුවෙන් උපයා ගත් තැන්පතු අද වන විට සොරා කා ඇති බවත් මහා මංකොල්ලයක් සිදු වී ඇති බවත් අවස්ථා ගණනාවක දී මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ බවත් ග්‍රාමීය බැංකු තැන්පතුකරුවන්ගේ කෝටි 56ක මුදල් "එන්ට්‍රස්ට්" යන ආයතනයේ තැන්පත් කිරීම නිසා තැන්පතුකරුවන්ට එක රුපියලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
මේ දූෂිත ක්‍රියාදාමය මීට පෙරත් සිදු කර ඇති නමුත්ක වුරුත් ඒ ගැන සොයා නැති බවත් මේ සඳහා වග කිව යුත්තන් ද දූෂිත බවත් ධන බලය සහ පවුල් බලය ඇති ඉහළ සමාජයේ මොවුන් බලසම්පන්න අය මේ දූෂණය වසන් කිරීමට කටයුතු කර ඇති බවත් මේ මංකොල්ලය ජාතික අපරාධයක් බවත් මෙහි ගිණුම් පමණක් 120,000ක් ඇති බවත් තැන්පතුකරුවන් දස දහස් ගණනකගේ තැන්පතු සොරා කා ඇති බවත් මේ සිද්ධිය දූ දරුවන්ගේ අධ්‍යාපනයට සහ ජීවිතයට බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කුමන හේතුවකටවත් තමා හොරුන් සහ වංචාකාරයින් නොරකින බවත් සමගි ජන බලවේග රජයක් යටතේ මේ හොරකමට වග කිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කරන විට ප්‍රබල ඇමතිවරුන් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින බව නමුත් දස වසරක් ගතව ඇතත් තවමත් කිසිවක් සිදුව නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, කොළඹ අවිස්සාවේල්ල සීතාවක සිරි සුමනජෝති මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 312 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර මෙහි දී ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරිණ.
මහා ජනතාවගේ මුදල්, වැඩ කරන ජනතාවගේ ඉතිරි කිරීම්, අර්ථ සාධක අරමුදල් සහ පූජනීය සිද්ධස්ථානවල ගිණුම්වල තිබෙන මුදල් පවා මේ ආයතනයේ තැන්පත් කර ඇති නමුත් වග කිව යුත්තන් මේ සම්බන්ධයෙන් කරුණු නොසොයන බවත් තමාට හොරුන් සමඟ සම්බන්ධතා නොමැති නිසා තමාට වැදගත් වන්නේ ජනතාව බවත් හොරු සමඟ ගිවිසුම් නැති නිසා මේ හොරකම අනාවරණය කර මෙම මුදල් නැවත ජනතාවට ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහතික විය.
තමාට අවශ්‍ය සෝබනය නොව වැඩ බවත් ඕනෑම තැනක කයිවාරු ගහන සෝබන වැඩ කරන ඇන්දවීම් කරන විවිධ රංගනවල නිරත වන කණ්ඩායම් ඇති බවත් තමාට අවශ්‍ය වැඩ කරන්න පුළුවන් අය විනා කයිවාරු කාරයෝ නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩ සටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩ සටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද, සක්වල තොරතුරු තාක්ෂණ වැඩ සටහන යටතේ පාසල් 312ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3439ක් වැය කර තිබේ.
Lanka Newsweek © 2024