මේ මොහොතේ රටට සහ ජනතාවට අවශ්‍ය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොව ජනාධිපතිවරණය පැවැත්වීම යැයි එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රටේ ආර්ථිකය ස්ථාවර කර තරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරන වැඩ පිළිවෙළ එක්සත් ජන රජ පෙරමුණ සතුව තිබෙන්නේ යැයි ද, "දේශය වෙනුවෙන් එක් වන පියවරක්" ලෙස එම වැඩ පිළිවෙළ රට හමුවේ තබා තිබෙන්නේ යැයි ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මේ බව කියා සිටියේ, ගම්පහ නගරයේ පැවති "දේශය වෙනුවෙන් එක්වන පියවරක්" යන ප්‍රායෝගික වැඩ පිළිවෙළේ සාරාංශය සහිත පත්‍රිකා බෙදා දීමේ වැඩ සටහනට සහභාගී වෙමිනි.
රටේ ආර්ථික ප්රශ්නය 2028 දක්වා කල් තබා ඇතැයි ද, ඒ අනුව 2028න් පසුව දේශීය සහ විදේශීය ණය ගෙවීමට ආණ්ඩුවට වැඩ පිළිවෙළක් අවශ්‍ය යැයි ද පාඨලී චම්පික මහතා පෙන්වා දුන්නේය.
ඒ කාලයේ දී රටේ ආර්ථිකය වර්ධනය කරන වැඩ පිළිවෙළක් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කර තිබෙන්නේ යැයිද එම පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.
Lanka Newsweek © 2024