Sunday 13th of October 2024

English Tamil
Advertiesment


ට්‍රම්ප්ට වෙඩි..කණට තුවාල...ජීවිතය අනූ නවයෙන් බේරෙයි...ආරක්ෂකයින්ගේ අතපසුවීමක්


2024-07-14 14349

 

(අශෝක ජයතුංග වොෂිංටන් DC සිට)

 

මෙම නොවැම්බරයේ දී පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තරග වදින හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් ඔහු යාන්තමින් දිවි ගලවා ගෙන තිබේ.

පෙන්සෙල්වියානු ස්ටේට් හි බට්ලර් ප්‍රාන්තයේදී ඉරිදා (14) පැවැති ප්‍රචාරක රැළියකදී එම ප්‍රහාරය එල්ලවී තිබේ. ප්‍රහාරය එල්ල වනවාත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් බිම දිගාවී ජීවිතය බේරා ගත්තද ඔහුගේ කණට වෙඩි වැදී ලේ වැගිරෙන්නට පටන්ගෙන තිබේ. 

ඔහු වහාම රෝහල්ගත කළ අතර ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. තුවාලකරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමට හැකි බවටද අනුමාන කෙරේ. ජනපති ජෝ බයිඩන් ද තම ශෝකය පළ කරමින් ක්ෂණිකවම ඩොනල්ඩ් ට්‍රම්ප් අමතා තිබේ.

රැළිය පැවැති ස්ථානයට අඩි  450ක දුරින් තිබෙන ගොඩනැගිල්ලක වහළ මත සිට ප්‍රහාරය එල්ල කර ඇති අතර ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාරවලින් වෙඩික්කරු එම අවස්ථාවේම ඝාතනය කොට තිබේ.

"ස්නයිපර් තුවක්කුවක් එක්ක මිනිහෙක් ගොඩනැගිල්ලට නගිනවා මම දැක්කා. වහාම ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ ආරක්ෂකයින්ට මම කිව්වත් ඔවුන් ඒ ගැන තැකුවෙ නෑ. ඒ ක්ෂණයෙන්ම වෙඩි ප්‍රහාර එල්ල වුණා"රැළියට එක්ව සිටි සිද්ධිය සියැසින් දුටු ට්‍රම්ප්වාදියෙකු වන ග්රෙග් නමැත්තා ජනමාධ්‍යට ප්‍රකාශ කොට තිබේ. වෙඩික්කරු ඇමෙරිකානුවෙක්ද ත්‍රස්ත කල්ලියක අයෙක් ද නැතහොත් විදෙස් කුලී හේවායෙක් ද යන්න සොයා ගැනීමට පරීක්ෂණ ආරම්භවී තිබේ.

Advertiesment