ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන සන්ධානයට සහය පළ කිරීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.
නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹ දී බදාදා (10) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක දී මේ බව නිල වශයෙන් නිවේදනය කළ අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
"නිදහස ජනතා සභාව ලෙස අප ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපක් කරන්නේ නැහැ. ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගයෙනුයි. අප සමගි ජන සන්ධානයට අපේ සහය ලබා දෙනවා. සමගි ජන සන්ධානය ලෙස පාර්ශවකරුවන් ගණනාවක් සිටිනවා. ඉදිරියේ දී ඊට තවත් පිරිස් එකතු වනවා. ඒ සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් ඉතා ශක්තිමත් සහ පුළුල් බලවේගයක් අප ගොඩනගනවා. අපි සහ ඒ සියලු දෙනා එකට එකතු වී එක් පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ශක්තිමත් කණ්ඩායමක් සහ වැඩ පිළිවෙළක් රට හමුවේ තබා ජයග්‍රහණය කරනවා.
ආණ්ඩුව පරාජය කිරීම ස ඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව සහ සමගි ජන බලවේගය සිදු කළ සාකච්ඡා ඉතාම සාර්ථක වුණා. රටේ පුළුල් දේශපාලන පෙරළියක් ඇති කිරීම සඳහා විපක්ෂය සමග ඉදිරි සති කිහිපයේ දී ඍජුව කටයුතු කිරීමට අප සැලසුම් කරතිබෙනවා."
Lanka Newsweek © 2024